දේශීය

ගොවි ගිණුම්වලට රුපියල් මිලියන 1000ක්

මෙවර මහ කන්නයේදී වී වගාවට අවශ්‍ය පොහොර මිලදී ගැනීම සඳහා රජය විසින් හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් බැගින් මුල්‍ය සහනාධාරයක් සියලුම ගොවි ජනතාවට ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊට අදාලව ගොවි ගිණුම්ගත කෙරෙන මුදලින් පළමු රුපියල් බිලියනයක මුදල කෘෂිකර්ම අමාත්‍යාංශයට මුදල් අමාත්‍යාංශය විසින් ලබාදී ඇති අතර එම මුදල් ගොවි ගිණුම්ගත කිරීම සඳහා දිස්ත්‍රික් කාර්යාලවල ගිණුම්වලට බැර කිරීම අද (06) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සිදු කෙරුනු බවයි වාර්තාවන්නේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් පැවැති මෙම අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, ගොවිජන කොමසාරිස් ජනරාල් H.M.A.L අබේරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වුණා.

මෙවර මහ කන්නයේදී හෙක්ටයාර් ලක්ෂ 08ක වී වගා කිරීමට නියමිත අතර එම වී වගා කරන සියලුම ගොවීන්ට මෙම මුල්‍යමය සහනාධාරය ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා රජය වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 12ක්.

ඉන්පළමු වාරිකය වශයෙන් රුපියල් මිලියන 1000ක මුදලක් ලබාදී ඇති අතර රජයේ මුදල් පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙන්ම වී වගා කටයුතු ආරම්භ කෙරෙන ආකාරය සැළකිල්ලට ගනිමින් අදාල මුල්‍ය ප්‍රතිපාදන ගිණුම් ගත කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

ඒ පිළිබඳ අමාත්‍යවරයා දැක්වූ අදහස්,

“මෙම මුදල් හෙට(08) සිටම ගොවී ගිණුම්වලින් ලබා ගත හැකියැයි නොසිතිය යුතුයි. මක්නිසාද යත් කුඹුරු වගා කිරීමේදී මෙම මුදල් හිමිවන්නේ වගා කරන පුද්ගලයාටයි. සමහර කුඹුරු අයිතිය ඇති කෙනා නොවෙයි වගා කරන්නේ. ඒ නිසා ඒ සම්බන්ධවත් අපි අවධානය යොමු කරනවා. වගා කරන පුද්ගලයාටම අදාල මුදල් ලබා දීමට අපි පියවර ගන්නවා. ඒ සඳහා නාම ලේඛන නැවත සොයා බැලිය යුතුයි. කුඹුරු වගා කරන අය සෑම වගා කන්නයකදීම වෙනස් වන තත්ත්වයකුත් තිබෙනවා.

ඒ වගේම රජයේ මුදල් තත්ත්වයත් සැළකිල්ලට ගත යුතුයි. රුපියල් බිලියන 12කින් පළමු රුපියල් බිලියනය තමයි අද අපි බෙදා දෙන්නේ. මුදල් අමාත්‍යාංශය විසින් ඉතිරි මුදල් ලබා දෙන ආකාරය අනුවයි අපි මුදල් ගිණුම් ගත කරන්නේ. නමුත් වී වගා කරන හැම ගොවියෙකුටම අපි මෙම සහන මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙනවා.

ඒ නිසා හෙට ඉඳන් ගොවීන් හමුවී මුදල් ලැබුනාද කියා ගොවීන්ගෙන් විමසන්න එපා කියලා මම මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලිමක් කරනවා. මෙම කටයුත්ත සරළ කටයුත්තක් නොවෙයි.සංකීර්ණ ක්‍රියාදාමයක්. ඇතැම් විට අපිට ලබාදී ඇති ගිණුම් අංක පිළිබඳවත් ගැටළු තිබෙනවා. ඒවායේ නිවැරදිභාවය ගැනත් සොයා බැලිය යුතුයි.

එසේ නොවුනහොත් මෙවර ලබා දෙන්නේ මුදල් නිසා වැරදි ගිණුම්වලටත් මුදල් බැරවිය හැකි අතර එම නිසා මෙම කාර්ය සාර්ථක කර ගැනීමට සියලු පාර්ශ්වවල සහයෝගය ලබා දෙන මෙන් ඉල්ලා සිටින බව අමාත්‍යවරයා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button