දේශීය

නාමල්ගේ තාරුණ්‍යයට හෙටක් සංවිධානයෙන් ලංවිමට ලක්ෂ 11ක පොල්ලක්

තාරුණ්‍යයට හෙටක් පදනම සංවිධානය කළ 2014 හම්බන්තොට දිස්ත්‍රික් පොසොන් කලාපයට ලංකා විදුලි බල මණ්ඩලයෙන් ලබා ගත් විදුලි උත්පාදන යන්ත්‍ර සඳහා ගෙවිය යුතු රුපියල් 1,122,889.14ක මුදලක් මේ වනතෙක් ගෙවා නැති බව ලංකා විදුලි බල මණඩලය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා අනාවරණය කර තිබෙනවා.

මෙම පොසොන් කලාපය සංවිධානය කරනු ලැබ ඇත්තේ, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් බවයි සඳහන් කරනේ.

එම පොසොන් කලාපයට අදාළව WAS/PP/TCN/01 හා 2014.05.29 දිනැතිව රුපියල් 1,522,889.14ක් වටිනා ඇස්තමේන්තුවට අනුව තාරුණ්‍යයට හෙටක් පදනම විසින් අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් 400,000.00ක් ලංවිම වෙත ගෙවනු ලැබ ඇති අතර ඉතිරි හිඟ මුදල වන රුපියල් 1,122,889.14 ගෙවන ලෙස 2019 මාර්තු 25 දින ලංකා විදුලි බල මණඩලය විසින් ලිපියක් මගින් දැනුම්දී තිබෙනවා.

ඒ අනුව, මෙම පොසොන් කලාපයට ලංකා විදුලි බල මණඩලයෙන් 380KVA විදුලිජනක යන්ත්‍ර 2ක්, 350KVA විදුලිජනක යන්ත්‍රයක්, 300 KVA විදුලිජනක යන්ත්‍ර 2ක් හා 250 KVA විදුලිජනක යන්ත්‍ර 2ක් කුලී පදනම මත ලබා ගැනීම වෙනුවෙන් ලංවිමට අයවිය යුතු එකී රුපියල් 1,122,889.14ක මුදල නොගෙවා ඇති බව දන්වා ලංකා විදුලි බල මණඩලයේ නීති නිලධාරිවරයා විසින් 2018 මැයි 31 වන දින එන්තරවාසියක්ද යොමු කර ඇති බවයි සඳහන්වන්නේ.

නීති නිලධාරිවරයා විසින් අවධාරණය කර ඇත්තේ, අදාළ මුදල දින 14ක් තුළ නොගෙවුවහොත් එකී මුදල අයකර ගැනීම වෙනුවෙන් නඩු පවරන බවයි.

කෙසේ නමුත් මේවනතෙක් අදාළ හිඟ මුදල ලංකා විදුලි බල මණ්ඩලයට නොගෙවා ඇති බව රන්ජන් ජයලාල් මහතා පෙන්වාදී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button