සේවකයන් ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ- කංචන
විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බවත් විදුලිබල හා බලශක්කි අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (19) කොළඹ 7 පිහිටි විදුලිබල හා බලශක්කි අමාත්‍යංශයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්.
අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ, නව විදුලිබල පනත පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසුව පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එහි යම් ව්‍යවස්ථා හෝ නීති විරෝධී කරුණු ඇතුළත්ව තිබේ නම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දින 14 ක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමේ අවස්ථාව ඕනෑම පුද්ගලයෙක්ට ඇති බවයි.
එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට යොමු කරන නිර්දේශ සම්බන්ධයෙන් කටයුතු කරන බවත් පනත පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමට දුන් කාලයේදී දේශපාලඥයන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් යන මහත්වරු පමණක් යෝජනා යොමු කර තිබූ බවත් අමාත්‍යවරයා පවසනවා.
නව පනතින් විදුලිබල ක්ෂේත්‍රය දේශපාලනීකරණය වී ඇතැයි කියන පාර්ශව කඩාකප්පල්කාරීන් බවත් දේශපාලන බලපෑම් ඉදිරියට ගෙන යෑමට නම් දැනට පවතින 2009 විදුලිබල පනත වඩාත් යෝග්‍ය බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළා.