දේශීය

හිංසනවලින් 60% ක්ම ෆේස්බුක් එකෙන්

ස්ත්‍රී – පුරුෂ සමාජභාවය මත පදනම්ව වූ හිංසනවලින් 60%ක් ම ෆේස්බුක් මාධ්‍ය හරහා සිදුවන ඒවා යැයි හෑෂ් ටැග් සහ නතින් ඩිලීට් සංවිධාන ඒකාබද්ධව ‘ප්‍රත්‍යා’ මැයෙන් කළ නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

එසේ පුද්ගලයන් හිංසාවට පත් කළ අපරාධකරුවන් අතර ස්වාමිපුරුෂයා, පැරණි සහකරුවා හෝ පැරණි ස්වාමිපුරුෂයා, පවුලේ ම සාමාජිකයන්ගේ සිට විවිධ සේවාවන් සඳහා සම්බන්ධ වන පුද්ගලයන් දක්වා සමාජයේ සෑම තරාතිරමක පිරිස් සිටින බව සමීක්ෂකයෝ පෙන්වා දෙනවා.

තොරතුරු හා සන්නිවේදන සේවාවක් භාවිතයේදී සිදු වූ අගතීන් ගැන 2022 වසරේ නොවැම්බර් මාසයේ සිට තොරතුරු එකතු කරමින් මෙම සමීක්ෂණය සිදු කර තිබෙනවා.

කථනයේදී වෙනස් කොට සැලකීම, හිරිහැර කිරීම් සහ තර්ජන, අනවසරයෙන් පෞද්ගලික තොරතුරු බෙදාහැරීම, අනන්‍යතාව සොරකම් කිරීම, තොරතුරු පාලනය සහ හැසිරවීම, තාක්ෂණය භාවිතයෙන් ලිංගික අපයෝජනය සහ සූරාකෑම මේ සමීක්ෂණයේදී හඳුනාගත් ස්ත්‍රී – පුරුෂ සමාජභාවය මත පදනම් වූ  හිංසන ක්‍රියා අතර වනවා.

ප්‍රත්‍යා කණ්ඩායමේ සහායිකාවක අමතා ගැටලුව කීමට මෙහිදී අවස්ථාව සලසා ඇති අතර එහිදී ඔහුට හෝ ඇයට අවශ්‍ය තාක්ෂණික මෙන්ම මනෝ සහාය ලබාදීම මෙම සමීක්ෂණ ක්‍රියාවලියේ විශේෂත්වයක්.

අගතියට පත්වූවන් කැමැත්ත අනුව නීතිමය සහාය ලබාදීමටද සමීක්ෂණ කණ්ඩායම ඉදිරිපත් වී තිබෙනවා.

මෙහි විශේෂ කාරණය වන්නේ, මෙම අපරාධ බොහොමයක් කර තිබෙන්නේ පිරිමි ළමයින් වීම සමීක්ෂණ කණ්ඩායම විසින් හදුනාගැනීමයි.

මොවුන් නිසා අගතියට පත්වන කාන්තාවන් සහ දැරියන් අන්තර්ජාලය හේතුවෙන් ජීවිතයෙන් විඳවන බවත්, ඔවුන් නීතිමය පියවර නොගැනීමෙන් තවදුරටත් පීඩාවට පත්වන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් මෙම සමීක්ෂණ කණ්ඩායම පෙන්වා දෙනවා.

මේ අතර, ස්ත්‍රී – පුරුෂ සමාජභාවය මත පදනම්ව සිදුවන හිංසන, සමාජ මාධ්‍ය හරහා තරුණ ප්‍රජාව මුහුණදෙන විශාල ගැටලුවක් වුවද ඒ සඳහා සාධාරණයක් සහ ඉක්මන් සහනයක් නීති පද්ධතියෙන් හෝ පොලිසිය හරහා සිදු නොවීම බරපතළ තත්ත්වයක් යැයි එම සමීක්ෂණයේ උපදේශන ප්‍රධානී සරිතා ඉරුගල්බණ්ඩාර පවසනවා.

සමාජ මාධ්‍ය හා විද්‍යුත් තැපෑල හෝ වෙනත් වෙබ් අඩවියක් නිසා චරිතය ඝාතනය හෝ කිසියම් අයිතිවාසිකම් කඩවීමක් සිදුවූවේ නම් ප්‍රත්‍යා කණ්ඩායමේ 0777955900 අංකය ඇමතීමෙන් අනන්‍යනතාව සහ තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා වන සේ තාක්ෂණික, මනෝ හෝ නීතිමය සහය නොමිලේ ලබාගත හැකි යැයි ප්‍රධාන ව්‍යාපෘති නායිකා ශෙලනි පලිහවඩන පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button