දේශීය

වතු කම්කරුවන්ට ඉඩම් ලබාදීමට කැබිනට් පත්‍රිකාවක්

වතුකරයේ කම්කරුවන් සඳහා පර්චස් 10 බැගින් වූ ඉඩම් කැබලි ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශන කාරක සභාව රැස්වූ අවස්ථාවේ රමේෂ් පතිරණ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා සඳහන් කළේ වැවිලි කර්මාන්ත, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන හා සංචාරක සහ ඉඩම් යන අමාත්‍යාංශ එක්ව එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

වතුකරයේ ආසන්න වශයෙන් 250,000ක් වන වතු කම්කරු පවුල්වලින් 60,000කට පමණ මේ වනවිට ඉඩම් අයිතිය ලබා දී ඇති අතර, සෙසු පවුල් සඳහා ඉඩම් අයිතිය තහවුරු කිරීමට හෙක්ටයාර 5,000ක් අවශ්‍යව පවතින බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.

රමේෂ් පතිරණ අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, පෞද්ගලික වැවිලි සමාගම් සතුව පවතින භාවිතයට නොගන්නා ඉඩම් පොදු අවශ්‍යතා සඳහා පවරා ගැනීමට සකස් කර ඇති නීති කෙටුම්පත කඩිනමින් ගෙන ඒම සඳහා පක්ෂ භේදයෙන් තොරව සියලු මන්ත්‍රීවරුන් එක්වී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button