ක්‍රීඩා

19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් මහා තරඟය අද

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 පිරිමි සහ මීටර් 400 කාන්තා අවසන් වටය අද (30) පැවැත්වෙනවා.

මෙම තරඟ අතුරින් කාන්තා අවසන් මහා තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.30 ටද පිරිමි අවසන් මහා තරඟය පස්වරු 5.40 ටද පැවැත්වීමට නියමිතයි.

මෙම තරඟවල සජීවී විකාශය Sony Live සහ Ten Sports යන නාළිකා ඔස්සේ නැරඹිය හැකියි.

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 400 ඉසව්වේ දෙවන මූලික තරඟය ඊයේ පැවැත්වුණු අතර තත්පර 52.67ක දක්ෂතාවයක් දැක්වූ නදීශා රාමනායක එහි දෙවන ස්ථානය දිනා ගනිමින් අවසාන තරගයට සුදුසුකම් ලබා ගත්තා.

පැවති මූලික තරඟ තුනේ දක්ෂතාවය අනුව අවසාන තරඟයට සුදුසුකම් ලද ක්‍රීඩිකාවන් අතර නදීශා තෙවන ස්ථානයේ පසු වෙනවා.

මේ අතර, ඊයේ පැවැති මීටර 400 පිරිමි මුලික වටයේ පළමු තරඟයට එක් වුණු කාලිංග කුමාරගේ ඊයේ ඉන් පළමු ස්ථානය හිමි කරගත්තා.

ඒ තත්ත්පර 45.57කින් තරඟය නිමා කරමින්.

තුන්වැනි මූලික වටයේ තරඟයට එක් වුණු අරුණ දර්ශන තත්ත්පර 46.07ක කාලයක් වාර්තා කරමින් තරඟය නිමා කළේ තෙවැනියා ලෙසයි.

ඒ අනුව දෙදෙනාම අද පැවැත්වෙන මීටර් 400 පිරිමි අවසන් තරඟයට සුදුසුකම් ලබා තිබෙනවා.

2006 වසරෙන් අනතුරුව ආසියානූ ක්‍රීඩා උළෙලක ජවන හා පිටිය තරඟ අංශ සඳහා ශ්‍රී ලංකාව කිසිදු පදක්කමක් දිනා ගෙන නැහැ.

ඒ අනුව, අද දින පිටියට පිවිසෙන ශ්‍රී ලාංකික කෙටි දුර ධාවන ක්‍රීඩකයන් තිදෙනාටම පදක්කමක් දිනා ගත හැකි වුවහොත් ඔවුන්ට ශ්‍රී ලාංකික මලල ක්‍රීඩා අංශය තුළ ඉතිහාසගත වීමට හැකි වනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button