වන සතුන් පළවා හරින්න කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ගොවීන්ට වායු රයිෆල්

වන සතුන්ගෙන් සිදුවන වගා හානී වළක්වා ගැනීම සඳහා පතරොම් තුවක්කු ලබා දෙන ලෙස ගොවි ජනතාව කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර තිබෙනවා.
පසුගිය සතියේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වවුනියාව, කිළිනොච්චි, මුලතිව්, යාපනය හා පුත්තලම් දිස්ත්‍රික් කෘෂිකාර්මික කමිටු රැස්වීම් සියල්ලටම සහභාගිවූ අතර එම රැස්වීම්වලදීත් ගොවීන් තමන්ට පතරොම් තුවක්කු ලබා දෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා.
මේ වනවිට වන සතුන්ගෙන් සිදුවන වගා හානි ඉහළ ගොස් ඇති අතර වගා හානි සිදු කරන සතුන් අතර රිළවා, මොණරා හා දඬුලේනා ප්‍රමුඛත්වය උසුලන බවටයි වාර්තාවන්නේ.
එහිදී දැනට මෙම සතුන් ආරක්ෂිත සත්ව ලැයිස්තුවෙන් ඉවත් කර ඇති අතර වන අලින් තවදුරටත් ආරක්ෂිත සත්ව ලැයිස්තුවේ ඇතුළත්ව සිටින බව වාර්තා කරනවා.
වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා ගොවි ජනතාව පතරොම් තුවක්කු ඉල්ලා සිටියද සතුන් පළවා හැරීම සදහා කෘෂිකර්ම අමාත්‍යාංශය සහන මිලට වායු රයිෆල් බෙදා දීම ඊයේ දින (22) ආරම්භ කර තිබෙන අතර ඊයේ (22) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් අගුනකොලපැලැස්සේදී පැවැති වැඩසටහනකද ගොවීන් සඳහා වායු රයිෆල් බෙදා දීම ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනය තුළ වායු රයිෆල් 268ක් ගොවීන් වෙත බෙදා දීමට කටයුතු යොදා තිබෙනවා.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා වනසතුන්ගෙන් සිදුවන වගා හානි මේ වනවිට ඉහළ ගොස් ඇති අතර වගා හානි වළක්වා ගැනිම සඳහා තමන්ට පතරොම් තුවක්කු ලබා දෙන ලෙසට ගොවීන් නිරන්තරයෙන් ඉල්ලීම් කරන බව සඳහන් කර තිබෙනවා.
වගා හානි වැඩි වශයෙන්ම සිදු කරන්නේ රිළවුන් වීම හේතුවෙන් රිළවුන් ලක්ෂයක් චීනයේ සත්වොද්‍යාන වෙත ලබා දීමට අවශ්‍ය මුලික පියවර ගත්තත් පරිසර සංවිධාන විසින් නඩු පැවරීම නිසා එම වැඩ පිළිවෙළ කඩාකප්පල් වූ බවද අමාත්‍යවරයා මෙහිදී පවසා තිබෙනවා.
ඔහු තවදුරටත් සඳහන් කළේ තවත් රටවල් කිහිපයකින්ම අපේ රටේ රිළවුන්ට ඉල්ලීම් ඉදිරිපත් වුනත් මෙම අධිකරණමය තීන්දුව නිසා එම වැඩ පිළිවෙළ මුළුමනින්ම අකර්මණ්‍ය වූ බවයි.
කෙසේ වුවද ඉදිරි ආහාර අර්බුදයක් ඇතිවීමේ අවදානමක් මතුවී ඇති නිසා වගා කරන බෝග වන සතුන් විනාශ කිරීම බරපතල අර්බුදකාරි තත්ත්වයක් නිර්මාණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසනවා.
මේ හේතුවෙන් වායු රයිෆල් පමණක් නොව පතරොම් තුවක්කුද ගොවීන්ට ලබා දීමට සිදු වනු ඇති බව ඔහු තවදුරටත් අවධාරණය කළා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පරිසර සංවිධාන රිළවුන් ඇතුළු වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා ඉදිරිපත් කළ යෝජනා කිසිසේත්ම ප්‍රායෝගික නොවන බවයි.
වගාවන් වටා සාරි එල්ලීම, පොල්ගස්වල තහඩු බැඳීම මෙන්ම වගා කරන ගොවිපොළවලින් අක්කර භාගයක් වන සතුන් සඳහා වෙන් කිරීම මෙම පරිසර සංවිධාන විසින් ඉදිරිපත් කළ යෝජනා බවද අමාත්‍යවරයා සඳහන් කළා.
එහිදී ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ මේ හේතුවෙන් වගා හානි වළක්වා ගැනීම සඳහා දරණ උත්සාහයක් වශයෙන් ගොවින්ගේ ඉල්ලීම පරිදි 50% දායකත්වයට යටත්ව වායු රයිෆල් බෙදා දීමට පියවර ගත් බවයි.
මෙම වායු රයිෆල් බෙදාදීමේ වැඩපිළිවෙළට මෙම වර්ෂය තුළ රජය විසින් මුල්‍ය ප්‍රතිපාදන වෙන් කර දී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.