පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට චර්යා ධර්ම පද්ධතියක් හඳුන්වාදීමට අවධානය
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ චර්යාධර්ම සොයාබලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඊට අදාළව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ඊයේ (23) පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බවයි වාර්තාවන්නේ.
අදාළ කැබිනට් තීරණයේ සඳහන්වන්නේ, ලෝකයේ බොහෝ රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහාවූ චර්යා ධර්ම පද්ධතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබෙන බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වූ අතර එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා.
එම අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව දැඩි විවේචනයක් සිදුකර ඇති බව සඳහන්.
ඒ අනුව එම කාර්යය සඳහා සකස් කරනු ලැබ ඇති මූලික කෙටුම්පත පිළිබඳව කතානායක සහ සියලුම පක්ෂ නායකයන්ගේ අදහස් ලබා ගැනීමත් අනතුරුව එකී අදහස් සැලකිල්ලට ගනිමින් පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.
බොහෝ මන්ත්‍රීවරුන් ආචාරධර්මවලට පටහැනිව පාර්ලිමේන්තුවේදී කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය කනගාටුව පළකර ඇති අතර විදෙස් රටවල මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳවද පැහැදිලි කිරීමක් සිදුකර ඇති බවටයි වාර්තාවන්නේ.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ චර්යාධර්ම කඩකිරීම පිළිබඳව සොයාබලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම පිළිබඳව කැබිනට් මණ්ඩලයේදී අවධානය යොමුකර ඇති බව වාර්තාවනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගවීම, විශ්වාසනීයත්වය, පැහැදිලි භාවය හා වෘත්තීය භාවය පිළිබඳ සහතික වීම, ව්‍යස්ථාදායකයේ සඵලත්වය ආදිය විනිවිදභාවය සහ සාධාරණත්වය පිළිබඳව මහජන විශ්වාසය ඉහළ නැංවීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බවයි අදාළ කැබිනට් තීරණයේ වැඩිදුරටත් දක්වෙන්නේ.
මේ අතර රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන අය සමඟ ඇතිවූ උණුසුම් තත්ත්වය පිළිබඳව සොයාබැලීමට කථානායකවරයා පත්කළ කමිටුව හෙට (25) දිනයේ රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අතර හෙට පෙරවරු 11ට පාර්ලිමේන්තුවේදී අදාළ කමිටුව රැස්වන බව එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා සඳහන් කළා.