දේශීය

වෛද්‍ය පාදෙණියට එරෙහි පැමිණිල්ලකට අදාළ මූලික විරෝධතා පිළිබඳ නියෝගයට දින නියම කරයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනාකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලට අදාළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය මේ මස 23 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියෝග කළා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවා.

2017 වසරේ අප්‍රේල් මස 7 වනදා වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය විසින් කොළඹ කොටුව දුම්රියපොළ අසළ දී පැවති ජන හමුවකදී සිදුකරනු ලැබූ කතාවක් අඩංගු සංයුක්ත තැටියක් පැමිණිල්ල විසින් සාක්ෂි වශයෙන් අධිකරණයට ඉදිරිපත්කර තිබුණා.

අදාළ සංයුක්ත තැටිය නීත්‍යායානුකූල ආකාරයට ඉදිරිපත්කර නොමැති බවත් එබැවින් එය ප්‍රතික්ෂේප කරන ලෙසට වගඋත්තරකාර වෛද්‍ය පාදෙණිය මහතා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු මූලික විරෝධතා මතු කළා.

එම මූලික විරෝධතාව පිළිබඳ නියෝගය මේ මස 23 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළා.

මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් මෙම අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ල ඉදිරිපත්කර තිබුණා.

එම පැමිණිල්ල මගින් සඳහන් කර තිබුණේ 2017 වසරේ අප්‍රේල් මස 7 වනදා කොළඹ කොටුව දුම්රියපොළ අසල පැවැති ජන හමුවකදී අදහස් දැක්වූ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව අභියාචනාධිකරණය මගින් ප්‍රකාශ කළ නඩු තීන්දුවක් විවේචනයට ලක් කරමින් කරුණු දැක්වූ බවයි.

 මේ තුළින් වෛද්‍ය පාදෙනිය අධිකරණයට අපහාස කර ඇති බවත් ඔහුට සුදුසු දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button