දේශීය

නිවාඩු අවලංගු කර තිබියදීත් තැපැල් සේවකයෝ වර්ජනයේ

තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් විකිණීමට ආණ්ඩුව දරණ උත්සහයට එරෙහිව දෙදින සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව ඒකාබද්ධ තැපැල් පෙරමුණ පවසනවා.

එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ‍, නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විකිණීමට ගෙන ඇති සැලසුම් ආණ්ඩුව අහෝසි කරගත යුතු බවයි.

කෙසේ වෙතත්,තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වහාම ක්‍රියාත්මක වන පරිදි නොවැම්බර් 8,9,10 දින තෙදින තුළ සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන ඇති බවයි.

නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති එස්. ආර්. ඩබ්. එම්. ආර්. පී සත්කුමාර මහතා සඳහන් කර ඇත්තේ, තැපැල් දෙපාර්තමේන්තුව සතු කිසිදු තැපැල් කාර්යාලයක් වසා දැමීමට කටයුතු නොකරන බවත්, නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල රජයේ ප්‍රතිපත්තිය අනුව වඩාත් ඵලදායි ආයෝජන අවස්ථාවකට ඉඩදීම වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය වෙත භාරදීමට එකඟත්වය ජනාධිපති ලේකම් වෙත දන්වා ඇති බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ඒ වෙනුවෙන් නුවරඑළිය තැපැල් කාර්යාලය පවත්වාගෙන යෑමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සුදුසු ගොඩනැගිල්ලක් ලබාදීමට කටයුතු කරන බවත් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් සහතික වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button