දේශීය

ඇමති මාරුවෙන් තවත් පමාවූ චීන පෝර නැව ගැන හොයන කමිටුව

ප්‍රතික්ෂේපිත චීන කාබනික පොහොර නැව පිළිබඳ ගනුදෙනුවට සම්බන්ධව මෙරට  පාර්ශව සිදුකර ඇතැයි කියන වංචා සොයා බැලීමට කමිටුවක් පත් කිරීමේ කටයුතු කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා මාරු කිරීම හේතුවෙන් ප්‍රමාද වී ඇති බව වාර්තා කරනවා.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කෘෂිකර්ම අමාත්‍යවරයා පවසා ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ සභාපතිත්වයෙන් යුතුව පත් කිරීමට නියමිත මෙම කමිටුව සඳහා සුදුස්සකු අධිකරණ අමාත්‍යාංශය  විසින් නම් කර එවා ඇති බවයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගුණදාස සමරසිංහ මහතා එම අමාත්‍යාංශයෙන් වෙනත් රාජකාරි ස්ථානයකට මාරු කර යැවීම හේතුවෙන් එම කමිටුව පත් කිරීමේ කටයුතු ප්‍රමාද වූ බවද ඔහු පවසා තිබෙනවා.

මහින්ද අමරවීර අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ එම කමිටුව එළැඹෙන සතිය ඇතුළත පත් කිරීමට කටයුතු කරන බවයි.

චීන පොහොර නැව සම්බන්ධ ගනුදෙනුවේදී යම් වංචාවක් සිදුවඇති බවට විගණකාධිපතිවරයා සිය වාර්තාවක් මඟින් දක්වා තිබුණද එයට සම්බන්ධ පිරිස් ගැන එහි සඳහන් නොවන නිසා ඒ පිළිබඳව සොයා බැලීමට ඉහළ පෙළේ කමිටුවක් පත් කරන බව ඉකුත් ජූලි මස 17 වැනිදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා තිබුණා.

එම කමිටුවට පත් කෙරෙන අනෙකුත් සාමාජිකයන් පිළිබඳව අදහසක් පවතින අතර අධිකරණ අමාත්‍යාංශයෙන් විනිසුරුවරයෙක් නම් කර එවූ විගස එම කමිටුව පත් කරන බව අමාත්‍යවරයා එම සාකච්ඡාවේදී අවධාරණය කර තිබෙනවා.

කෙසේවෙතත්, ඉන්පසු අවස්ථා කිහිපයකදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගුණදාස සමරසිංහ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ  කමිටුව සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් නම් කර එවන ලෙස අධිකරණ අමාත්‍යාංශයට තමන් ලිඛිතව දැනුම්දී තිබුණත් අධිකරණ අමාත්‍යාංශයෙන් එම ඉල්ලීමට තවමත් ප්‍රතිචාර නොලැබුණු බවයි.

අවසන් වරට පුවත්පත කළ විමසීමකදී හිටපු ලේකම්වරයා පවසා ඇත්තේ  අධිකරණ අමාත්‍යාංශයෙන් එම කමිටුව සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් නම් කර එවා ඇති අතර එම කමිටුව ඉදිරියේදී නම් කරන බවයි.

නමුත්,  ඒ අතරතුර ඇමැති තනතුරු හා අමාත්‍යාංශ සංශෝධනයක් සිදු වීමත්, අමාත්‍යාංශ ලේකම්වරයා මාරුවීමත් නිසා එම කටයුතු ප්‍රමාද වී තිබෙනවා.

මේ අතර වසර දෙකකටත් අධික කාලයක් තිස්සේ තවමත් මෙම ගනුදෙනුවට සම්බන්ධ පාර්ශව පිළිබඳව විමර්ශනය කිරීමට තවදුරටත් අපොහොසත් වීම සම්බන්ධයෙන් විද්වතුන් සිය කණස්සල්ල පළ කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button