දේශීය

කොවිඩ් සමයේ facebook සටහනක් තැබූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයාට මිලියනයක වන්දි ගෙවන්න රජයට නියෝග

මුස්ලිම්වරුන් මතවාදී අරගලයකට වහාම සූදානම් විය යුතු බවට සිය මුහුණු පොත ඔස්සේ මතයක් පළකළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන මොහොමඩ් රාසික් මොහොමඩ් රම්සි මහතා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවී ඇති බවට නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එයට වන්දියක් ලෙස එම පෙත්සම්කරුට රුපියල් ලක්ෂ 10 ක මුදලක් ගෙවන ලෙසට රජයට නියම කර තිබෙනවා.

එයට අමතරව පෙත්සම්කරුට සිය පෞද්ගලික මුදලින් මාසයක් ඇතුළත රපියල් තිස්දහස බැගින් වන්දි ගෙවන ලෙසටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි w. තිලකරත්න මහතාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක S.K සේනාරත්න මහතාටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ බවයි වාර්තාවන්නේ.

පසුගිය කොරෝනා සමයේදී එනම් 2020.04.02 වැනිදා එම පෙත්සම්කරු සිය මුහුණු පොතේ සටහනක් තබමින් ජාතිවාදී කල්ලි ඉතාමත් සූක්ෂ්ම ආකාරයට දියත් කරනු ලබන මුස්ලිවරුන්ට එරෙහි බුද්ධි මෙහෙයුමට මුහුණදීම සඳහා මුස්ලිම්වරුන් මතවාදී අරගලයකට සූදානම් විය යුතුය යන මතය සිංහල භාෂාවෙන් පළකිරීමෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා සිවිල් හා දේශපාලනඥ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර පනත යටතේ ගැනෙන වැරදි සිදු කළ බව චෝදනා කරමින් එම පෙත්සම්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

එලෙස අත්අඩංගුවට ගෙන පුරා මාස පහකට අධික කාලයක් රැඳවුම් නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවූ බවට නිගමනය කරන ලෙස ඉල්ලා, නීතිඥ මුස්තාපා කමල් බැඩා රම්සීන් මහතා මගින් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ බුවනෙක අලුවිහාරේ, යසන්ත කෝදාගොඩ සහ ජනක්ද සිල්වා යන මහත්වරු එම නියෝග කර තිබෙනවා.

නීතිපතිවරයාට නියෝග කළේ, පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් හා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමෙන් පෙත්සම්කරුට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකර ද ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතීන් වගඋත්තරකරුවන් විසින් උල්ලංඝනය කර ඇති බවට නිගමනය කළ විනිසුරු මඬුල්ල මෙවැනි අසාධාරණ ක්‍රියා මින්මතු නොවීමට අවශ්‍ය මාර්ගෝපදේශ සකස් කර පොලිස්පතිවරයා වෙත යොමු කරන ලෙසටයි.

එම වගඋත්තරකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකිවයුතු නිලධාරීන් වන බැවින් ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා මෙන්ම රජයද වගකිවයුතු බවටද විනිසුරු මඬුල්ල ඒකමතිකව නිකුත් කළ එම තීන්දුව මගින් පෙන්වාදී තිබෙනවා.

එහිදී නීතිඥ රම්සි බාවා මහතාගේ උපදෙස් මත නීතිඥ චතුර වෙත්තසිංහ මහතා සමග නීතිඥ නුවන් බෝපගේ මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිට තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button