දේශීය

ටිමෝරය නිදහස් සටනට සහය දුන් ශ්‍රී ලාංකික මාධ්‍යවේදියකුට වීර සම්මානයක්

නැගෙනහිර ටිමෝරයේ නිදහස් අරගලය වෙනුවෙන් දැක්වූ දායකත්වය ඇගැයීමකට ලක් කරමින් එරට ජනාධිපති රාමෝස් හොර්තා මහතා විසින් එරට රජයේ ඉහළම වීර සම්මානය ශ්‍රී ලාංකික ෆ්‍රෙඩී ගමගේ මහතා වෙත ප්‍රදානය කර තිබෙනවා.

එම සම්මානය රැගෙන ඒ මහතා කටුනායක ගුවන් තොටුපොළට ඊයේ (07) පැමිණ තිබුණා.

ෆ්‍රෙඩී ගමගේ මහතා ශ්‍රී ලංකාව තුළ මාධ්‍යවේදියෙකු , සිවිල් සමාජ ක්‍රියාධරයෙකු මෙන්ම මානව හිමිකම් ආරක්ෂකයෙකු ලෙසද කටයුතු කළා.

නැගෙනහිර ටිමෝරය යනු ඉන්දුනීසියාවත් ඕස්ට්‍රේලියාවත් අතර පිහිටි කුඩා රාජ්‍යයක්.

මෙය 1975 නොවැම්බර් 28 වනදා තෙක් පෘතුගීසි යටත් විජිතයක්ව පැවති අතර එදින නිදහස ලැබූ එම රාජ්‍යය යළි දින ගනනාවකට පසු , එනම් 1975 දෙසැම්බර් මස 07 දින ඉන්දුනීසියාව විසින් අත් පත් කර ගෙන තිබෙනවා.

එරටින් නිදහස ලබා ගැනීම සදහා එරට වැසියන් සමග ආසියා – පැසිෆික් කළාපීය රටවල නිදහස්කාමීන් දීර්ඝ අරගලයක නිරතවී තිබෙන බවයි වාර්තාවන්නේ.

මෙම අරගලයට සහභාගී වීම සදහා නැගෙනහිර ටිමෝරය වෙත යමින් සිටි ෆ්‍රෙඩී ගමගේ මහතා පිලිපීනයේ මැනිලා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී දෙවරක් සහ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී එක් වරක් පිටුවහල් කිරීමකටද ලක්වී ඇති බවද සඳහන්.

මෙම අරගල වල ප්‍රතිඵලයක් ලෙස 2002 වසරේ මැයි මස 20 වැනි දින නැගෙනහිර ටිමෝරය නිදහස් රාජ්‍යයක් වන අතර , එම නිදහස් අරගලය වෙනුවෙන් ෆ්‍රෙඩී ගමගේ මහතා දැක්වූ දායකත්වය ඇගැයීමකට ලක් කර මෙම වීර සම්මානය ඉකුත් 27 දින එරට ජනාධිපති රාමෝස් හොර්තා මහතා විසින් ෆ්‍රෙඩී ගමගේ මහතා වෙත පිරිනමා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button