දේශීය

දිවයින පුරා විදුලිය ඇනහිටීම ගැන පරීක්ෂණ අරඹයි

දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යාංශයෙන් සහ ලංකා විදුලිබල මණ්ඩලයෙන් වෙන වෙනම පරීක්ෂණ දෙකක් සිදුකිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

එමෙන්ම ඊයේ දිනයේ සිදුවූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් අද දහවල් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ, දිවයින පුරා විදුලිය බිඳවැටීම මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බවයි.

කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇතිවූ බිඳවැටීමක් හේතුවෙන් ඊයේ පස්වරු 05.10ට පමණ දිවයින පුරා හදිසි විදුලිය බිඳවැටීමක් සිදුවුණා.

බිඳවැටුණු විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීම ලංකා විදුලි බල මණ්ඩලය විසින් ක්‍රමානුකූලව සිදුකළ අතර ඊයේ රාත්‍රී 11 පමණ වන විට දිවයින පුරා විදුලිය සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගනු ලැබුවා.

විදුලිය බිඳවැටීමත් සමග ජනතාවගේ දෛනික කටයුතුවලට බාධා එල්ලවූ අතර දිවයින පුරා ආරක්ෂාව තර කිරීමට පොලීසිය සහ යුද හමුදාව කටයුතු කළා.

පසුව දිවයින පුරා ඊයේ (09) සිදුවූ හදිසි විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිතුක් කළා.

ඔවුන් සඳහන් කරන්නේ, කොත්මලේ සිට බියගම සම්ප්‍රේෂණ මාර්ගයේ වෝල්ටීයතා රැහැන් පද්ධතියට සිදුවූ අකුණු සැර වැදීමකින් මෙම බිඳවැටීම සිදුවූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button