ලාංකික ජනතාවට පානීය ජලය දෙන්න ත්‍රෛ පාර්ශ්වික ගිවිසුමක්

ශ්‍රී ලාංකික ජනතාවට පිරිසිඳු පානීය ජලය සැපයීම සඳහා පර්යේෂණ කිරීමට ඉදිරි වසර තුනක කාලය සඳහා තාක්ෂණික, පර්යේෂණ සහ මූල්‍ය සහාය සැපයීමට ත්‍රෛ පාර්ශ්වික ගිවිසුමකට අද (18) චීන තානාපති කාර්යාලයේදී අත්සන් තබා තිබෙනවා.
චීන විද්‍යා ඇකඩමිය, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පේරාදෙණිය විශ්ව විද්‍යාලය එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ පාර්ශව අතර එක්වී සිටියා.
චීන විද්‍යා ඇකඩමිය වෙනුවෙන් ජල දුෂණය පාලනය කිරීමේ තාක්ෂණය පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ආචාර්ය වෙයි යුආන්සොන්ග්, ශ්‍රී ලංකාවේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ළමාවංශ සහ ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් R.M.W.S සමරදිවාකර යන මහත්වරු ගිවිසුමට අත්සන් තැබුවා.
මෙම ගිවිසුමට අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉදිකර ඇති අග්නිදිග ආසියාවේ විශාලතම ශ්‍රී ලංකා චීන ඒකාබද්ධ ජල පර්යේෂණාගාරයට අවශ්‍ය තාක්ෂණික සහාය හා විශේෂඥ දැනුම චීන විද්‍යා ඇකඩමිය ලබා දෙනු ඇති බවයි වාර්තාවන්නේ.
ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන්ග්, චීන විද්‍යා ඇකඩමියේ ජල දුෂණය පාලනය කිරීමේ තාක්ෂණය පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ආචාර්ය වෙයි යුආන්සොන්ග්, ශ්‍රී ලංකාවේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ළමාවංශ, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ එම අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩබ්ලිව්.එස්. සමරදිවාකර යන මහත්වරුන් ඇතුළුව සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වුණා.