දේශීය

කොරෝනා සෞඛ්‍ය පිළිවෙත් නැවත පිළිපැදීමට උපදෙස්

ඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුවිපරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙතෙක් සිදුකළ නියැඳි පරීක්ෂණවලින් කිසිදු රෝගියෙක් වාර්තාවී නොමැති බව​යි.

කෙසේවෙතත් පසුගිය කොවිඩ් සමයේ අනුගමනය කළ නිසි සෞඛ්‍ය පිළිවෙත් යළි අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළා.

මීට අමතරව රට පුරා නැවත පැතිර යමින් තිබෙන සරම්ප රෝගය පාලනය කිරීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන ලබන සතියේ සිට දිවයිනේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවද රමේෂ් පතිරණ මහතා පවසනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රමේෂ් පතිරණ මහතා,

මෙරට ජනතාවට අවශ්‍ය ගුණාත්මකභාවයෙන් සහ උසස් ප්‍රමිතියෙන් යුත් ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. කොවිඩ් අර්බුදයෙන් පසුව ඇති වූ රටේ ආර්ථික කඩාවැටීම හමුවේ යම් යම් ඖෂධවල හිඟයක් මතුව තිබුණා. මේ වන විට රටේ මූල්‍ය තත්ත්වය ක්‍රමානුකූලව යහපත් වෙමින් පවතින නිසා අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීම වෙනුවෙන් වූ රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වේගවත් කර තිබෙනවා. රෝහල්වලට අවශ්‍ය ඖෂධ ලබා ගැනීමේ ක්‍රියාවලිය විනිවිදභාවයකින් සිදු කිරීමේ අරමුණින් එම ප්‍රසම්පාදන කටයුතු ඩිජිටල්කරණයට ලක් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරමින් තිබෙන අතර ඒ සඳහා කොළඹ සහ මොරටුව විශ්වවිද්‍යාලයන්හි පරිගණක අංශවල සහය ලබා ගැනීම සිදු වෙනවා. මේ අනුව ඉදිරියේදී අදාළ ප්‍රසම්පාදන කටයුතු ඩිජිටල්කරණය තුළින් සිදුකිරීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button