දේශීය

සෞඛ්‍ය වෘත්තීය සමිති යළි වර්ජනයකට සූදානමක්

සිය ඉල්ලීම් සඳහා තවදුරටත් කඩිනම් විසඳුමක් ලබා දීමට අපොහොසත් වන්නේ නම් ඉදිරි සතියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ, සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක සාමාජිකයන් සහ සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව සකස් කළ තාක්ෂණික වාර්තාව ඉතා ඉක්මනින්ම මුදල් අමාත්‍යංශයට භාර දුන් බවයි.

ආර්ථික යුක්තිය ඉටුකර ගැනීම සඳහා මුදල් අමාත්‍යංශය ඉල්ලා සිටි තාක්ෂණික වාර්තාව ඉතා කඩිනමින් සකස් කර සෞඛ්‍ය අමාත්‍යංශයේ සහයෝගය ඇතිව භාර දුන් බවත් එම කාලය ඇතුළත සිය වෘත්තීය ක්‍රියාමාර්ග සතියක පමණ කාලයක් සඳහා තාවකාලිකව නවතා දැමූ බවත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහ​තා ඊයේ (06) මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

රජය වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් 35,000​ක දීමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් පසුගියදා වැඩවර්ජනයක නිරත වුණා.

අනතුරු​ව සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් ලබාදෙන බවට වන ලිඛිත පොරොන්දුව මත ඔවුන් වැඩවර්ජනය තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

කෙසේවෙත​ත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී සිය ගැටලු සඳහා විසඳුමක් නොලැබුණහොත් යළි වැඩවර්ජනයකට යොමුවන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා කියා සිටියා.

Related:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button