දේශීය

නීතිඥ සාමූහිකයෙන් විශේෂ නිවේදනයක්

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වුවහොත් ජනාධිපතිවරයාට ජනමත විචාරණයක් පැවැත් වීම සඳහා මැතිවරණ කොමිසමට උපදෙස් ලබා දීමට සිදුවන වාතාවරණයක් එළඹෙන බව නීතිඥ සාමූහිකය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් නීතිඥ සාමූහිකය පවසන්නේ, එම පනත් කෙටුම්පත සම්මත වී දින 30ක් ඇතුලත ජනමත විචාරණයක් පැවැත්වීමට සිදුවන බවයි.

මේ හරහා ශ්‍රී ලංකාවට ජාතික මැතිවරණ දෙකක බරක් දැරීමට සිදුවන අතර, එය ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය කරන බවට නීතිඥ සාමූහිකය අනතුරු අඟවනවා.

ඔවුන් තවදුරටත් පවසන්නේ, ජනමත විචාරණයක් පැවැත්වීම යනු  රුපියල් බිලියන ගණනන් වැය වන ක්‍රියාවලියක් බවයි.

පළාත් පාලන ඡන්දය පැවැත්වීමටම අරමුදල් නොමැති බවට ශ්‍රී ලංකා රජය අවස්ථා කිහිපයකදී  ප්‍රකාශ කර ඇති බව ද නීතීඥ සාමූහිකය පෙන්වා දෙනවා.

ඔවුන් පවසන්නේ, මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිවරයාගේ ධුර කාලයේ උපරිමය සම්බන්ධයෙ​න් කිසිදු හදිසි අවශ්‍යතාවක් නොමැති බවයි.

යෝජනා කර ඇති ව්‍යවස්ථා සංශෝධනය මැතිවරණ ක්‍රමවේදය තවත් අර්බුදකාරී මට්ටමකට ගෙන ඒමේ ප්‍රයත්නයක් බව ඔවුන් පෙන්වා දෙනවා.

ජනාධිපතිවරණයෙන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු බව ද, නීතිඥ සාමූහිකය සිය නිවේදනයෙහි සඳහන් කර තිබෙනවා.

එවැනි පසුබිමක ශ්‍රී ලංකා රජය විසින් යෝජනා කර ඇති ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හෙළාදකින අතර, එය මෙරට මැතිවරණ ක්‍රමවේදය විකෘති කිරීමේ උත්සාහයක් බවද පෙන්වා දෙනවා.

නීතිඥ සාමුහිකය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, සියලූම ප්‍රජාතන්ත්‍රවාදී බලවේග මේ ප්‍රයන්තනයන්ට එරෙහිව නැගී සිටිය යුතු බවයි.

ජනාධිපති නීතිඥවරු  දස දෙනෙකුට අධික සහ තවත් නීතිඥවරු සමූහයක් විසින් ඒකාබද්ධව මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button