දේශීය

රන්ජන්ටත් අත්හිටවූ සිරදඬුවමක්

අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගත් රන්ජන් රාමනායක මහතාට වසර 2 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එය 5 වසරකට අත්හිටවීය.

බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී දෙහිදෙණිය සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දුව අද ප්‍රකාශයට පත් කළේ ය.

තීන්දුව ප්‍රකාශ කරමින් සභාපති විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා පැවසුවේ, වරද පිළිගැනීම සහ ඉදිරිපත් කළ සානුකම්පිත කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිට වූ සිර දඬුවම් නියම කිරීමට තීරණය කළ බවයි.

අත්හිට වූ වසර 5 ක කාලය තුළ යම් වරදකට වරදකරු වුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ මෙම දඬුවම ක්‍රියාත්මක වන බව සභාපති විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ය.

එම කාලය තුළ කිසියම් හෝ වරදකට වරදකරු නොවුයේ නම් වසර 5 ක කාලය අවසන් වූ පසු ශ්‍රේෂ්ඨාධිකරණය මෙවැනි දඬුවමක් නියම නො කළා සේ සලකන බව ද විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා රන්ජන් රාමනායක මහතා වෙත අවධාරණය කර සිටියේ ය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධ දෙවන නඩුව සඳහා රන්ජන් රාමනායක මහතා බන්ධනාගාරයේ මගින් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ ය.

රූපවාහිනී නාලිකාවක් ඔස්සේ කළ ප්‍රකාශයක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කළ බවට රන්ජන් රාමනායක මහතාට විරුද්ධව නීතිපතිවරයා මෙම දෙවන නඩුව ගොනු කර තිබුණි.

පසුගිය නඩු දිනයේදී රන්ජන් රාමනායක මහතා වරද පිළිගමින් ප්‍රකාශ කර සිටියේ, තම ප්‍රකාශය මගින් යම් අපහාසයක්, නින්දාවක් හෝ හෑල්ලුවට ලක් කිරීමක් සිදු වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වන්නේ නම් ඒ සම්බන්ධව තමා කොන්දේසි විරහිතව කනගාටුව ප්‍රකාශ කරන බවයි.

රූපවාහිනී නාලිකාවක් හරහා කළ ප්‍රකාශය මගින් ශ්‍රේෂ්ඨාධිකරණය හෑල්ලුවට ලක් කිරීමට තමා කිසිදු ආකාරයකින් අදහස් නොකළ බව ද රන්ජන් රාමනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පසුගිය නඩු දිනයේ ප්‍රකාශ කර තිබුණි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button