දේශීය

ගින්නකින් පාසල් ගොඩනැගිල්ලක් විනාශ වෙයි 

පාසලක හදිසියේ ඇතිවූ ගින්නකින් එහි දෙමහල් ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන් විනාශවී ගොස් තිබෙනවා.

මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස අධ්‍යාපන කලාපයට අයත් තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ බහුකාර්ය දෙමහල් ගොඩනැගිල්ලයි මෙලෙස ගිනිගෙන ඇත්තේ.

ඊයේ (15) පස්වරුවේ මෙම ගොඩනැගිල්ල ගිනිගන්නා ආකාරය ක්‍රීඩාංගණයේ සෙල්ලම් කරමින් සිටි දරුවන් දැක කෑගැසීමත් සමග ප්‍රදේශවාසීන් සහ මාලිම්බඩ පොලීසියේ නිලධාරීන් පැමිණ ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබුණා.

නමුත් ඒ වනවිට එම ගොඩනැගිල්ලේ තිබූ සියලුම භාණ්ඩ ගිනිගෙන විනාශ වී තිබෙනවා.

පාසල් භූමිය පරිශ්‍රයේ සිටි සුනඛයෙකු ද මෙම ගින්නට හසුවී මියගොස් තිබෙනවා.

මෙම ගොඩනැගිල්ල තුළ ක්‍රීඩා භාණ්ඩ, ක්‍රීඩා කිරීම සඳහා භාවිත කරන රුපියල් ලක්ෂ 10කට අධික වටිනා මෙට්ට, පාසල් මේස පුටු, විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් ගින්නෙන් විනාශවී තිබෙනවා.

අද (16) දහවල් මාතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පැමිණ සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබුණා.

මෙතෙක් අනාවරණය වී ඇති කරුණු අනුව කිසියම් පිරිසක් විසින් මෙම ගොඩනැගිල්ලට ගිනි තැබුවේද යන්න සැකකරන අතර එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන සිදුකරනු ලබනවා.

මෙම ගොඩනැගිල්ල තුළ පාසලේ පන්ති 5ක් පවත්වාගෙන ගොස් ඇති අතර මේ වනවිට දරුවන්ට අධ්‍යාපනය ලබාදීම සම්බන්ධයෙන් ද පාසල් බලධාරීන් අර්බුදකාරී තත්ත්වයකට මුහුණදී තිබෙනවා.

මෙම පාසලේ තෙමහල් ගොඩනැගිල්ලක කොටසක් මීට වසරකට පෙර නායයෑම හේතුවෙන් ද දරුවන්ට අධ්‍යාපනය ලැබීමේදී බාධා මතුවී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button