විදේශ ගමන් බලපත්ර නිකුත් කිරීම යළි ඇරඹේ.
බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ විදෙස් ගමන් බලපත්ර නිකුත් කිරීම අද (14) උදෑසන 08.00 සිට යළි ආරම්භ කර තිබෙනවා.
පරිගණක පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් විදෙස් ගමන් බලපත්ර නිකුත් කිරීම තාවකාලිකව නතර කිරීමට බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ (13) දහවල් පියවර ගෙන තිබුණා.
එම තීරණයත් සමඟින් එහි පැමිණ සිටි ජනතාව නොසන්සුන් වීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගත් අතර පසුව එක්දින සේවාව මගින් විදෙස් ගමන් බලපත්ර ලබා ගැනීමට එහි පැමිණි පිරිස ඊයේ රාත්රියේ එහි රැය පහන් කළා.
ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ ඊයේ දිනයේ අයදුම්පත් භාරගත් සියලු දෙනාගේ ගමන් බලපත්ර අද නිකුත් කරන බවය.
අද යළි දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නොහැකි අය වෙත කුරියර් සේවාවක් මගින් අදාළ ගමන් බලපත්ර නිවසටම ලබාදීමට පියවර ගන්නා බව ද ඒ මහතා සදහන් කළා.
ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සේවාවන් ලබා ගැනීම සඳහා අද දිනයේ වේලාව වෙන් කරගත් අය අද එහි නොපැමිණෙන ලෙසය.
සෑම අයකුම තමන් වේලාව වෙන් කර ගත් දිනට නොපැමිණ ඊට පසු දින පැමිණෙන ලෙසද ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා ජනතාවට දන්වා සිටියා.