ආණමඩුව තල්ගස්වැව පරිසර පද්ධතියට ගින්නෙන් හානි
ආණමඩුව තල්ගස්වැව පරිසර පද්ධතියට පසුගියදා කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබෙනවා.
ඒ හේතුවෙන්, උරග වර්ග රැසක් පිලිස්සී මිය ගොස් ඇති බවත්, ඒ සමඟම වැව තුළ පිහිටි කුඹුක් ගස් රැසක මූල පද්ධතිය ගිනි ගෙන විනාශවීමෙන් එම වෘක්ෂ ද මියයාමේ අවදානමක් ඇති බවත්, තල්ගස්වැව පරිසර සංවිධානය පවසනවා.
ආණමඩුව නවගත්තේගම මාර්ගයේ සුවිශේෂ වූ පරිසර පද්ධතියකින් සමන්විත තල්ගස්වැව වසර සිය ගනණක් පැරණි කුඹුක් වෘක්ෂයන්ගෙන් සමන්විත පරිසර පද්ධතියක් ද වෙනවා.
කෙසේ වෙතත්, සෑම නියඟයකදීම මෙම පරිසර පද්ධතියට ඉතාමත් සූක්ෂම ආකාරයෙන් කිසිවකුටත් සිතා ගත නොහැකි අවස්ථාවක ගිනි තැබිම් සිදුවන බවත්, එදිනද එලෙසම ගිනි තබා ඇති බවත් තල්ගස්වැව පරිසර සංවිධානයේ සාමාජිකයන් පවසනවා.
පරිසර සංවිධානය චෝදනා කරන්නේ, දඩයක්කරුවන් හා දැව ජාවාරම්කරුවන් විසින් මෙම පරිසර පද්ධතියට ගිනි තැබීමෙන් පසු මිය යන කුඹුක් ගස් රහසේ කපා ගෙන යාමද සිදුවන බවත්, ඒ සමගම එම වැවේ පරිසර පද්ධතිය තුළ සැරිසරන උරගයන් හා අනෙකුත් වන සතුන් දඩයම් කිරීමට දඩයක්කරුවන් කටයුතු කිරීම බරපතල තත්ත්වයක් බවයි.
මෙම ගිනි තැබීම නිසා, වැවේ අක්කර 20 කට ආසන්න භූමි ප්රමාණයක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන ඇති බවත්, ගිනි ගැනීම පැය 6 කට ආසන්න කාලයක් පැතිර ගොස් තිබූ බවත්, ඔවුන් වැඩිදුරටත් පැවසුවා.
ගිනි ගැනීම සමඟ පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් හා ආණමඩුව ප්රාදේශීය සභාවේ නිලධාරීන් පැමිණ සිටියද ගින්න පාලනය කිරීමට බවුසරයකින් රැගෙන ආ ජලය ප්රමාණවත් නොවීම නිසා ගම්වාසින් දැඩි පරිශ්රමයක් දරා ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබුණා.