ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අවබෝධතා ගිවිසුමක්
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර සහයෝගීතාව වර්ධනය කිරීම අරමුණු කරගමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරුවේ අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුන්ග් අතර ඊයේ (22) ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණා.
ඒ ජනාධිපතිවරයාගේ සිංගප්පූරුවේ දෙදින නිල සංචාරය අතරතුරදීයි.
මෙහිදී නායකයින් දෙපළ විසින් තිරසාර සහයෝගීතාවයේ වැදගත්කම සහ ආර්ථික මැදිහත්වීම ඉහළ නැංවීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
මෙම රැස්වීමෙන් අනතුරුව, පැරිස් සම්මුතියේ 6 වන වගන්තියට අනුව කාබන් හරකිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමටද අත්සන් කිරීම සිදුවුණා.
ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර මෙම හවුල්කාරීත්වය උපායමාර්ගික වන අතරම පාරිසරික වගකීම සඳහා ජාතීන් දෙකෙහිම කැපවීම පෙන්නුම් කරන්නක් බවයි.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, සහ ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරු මෙම සංචාරය සඳහා ජනාධිපති වික්‍රමසිංහ මහතා සමඟ එක්ව සිටියා.
මේ අතර පසුගිය සඳුදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ ඉස්තානා හිදී සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යාකොබ් හමුවූ අතර එහිදී ආහාර සුරක්ෂිතතාව, පුනර්ජනනීය බලශක්තිය සහ කලාපීය ආර්ථික සහයෝගීතාව ඇතුළු මාතෘකා රැසක් ආවරණය කරමින් ඵලදායී සාකච්ඡා පැවැත්වුණා.
තවද, ජාතීන් දෙක අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු ආරක්ෂක අමාත්‍යවරයා හමුවුණා.
දකුණු ආසියානු කලාපයේ ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම ඔවුන් මෙම සාකච්ඡාවේදී අවධාරණය කර තිබුණා.