දේශීය

G77 සමුළුව සඳහා ඉදිරි සතියේ ජනපති කියුබාවට

‘G77 කණ්ඩායම සහ චීනය’ රාජ්‍ය නායක සමුළුව ඇමතීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි සතියේ දී කියුබාව බලා පිටත්ව යාමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

“වත්මන් සංවර්ධන අභියෝග හමුවේ විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනයේ කාර්යභාරය” මැයෙන් “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව 2023 සැප්තැම්බර් 15 සහ 16 යන දෙදින කියුබාවේ හවානා නුවර දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.  

“G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවේ වත්මන් සභාපති, කියුබානු ජනාධිපති මිගෙල් ඩියැස් කැනල් (Miguel Diaz-Canel) මහතා විසින් කරන ලද නිල ආරාධනයක් අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට සහභාගී වීමට නියමිතයි.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ මෙම රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ශ්‍රී ලංකාව සහ කියුබාව අතර ද්වීපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කියුබානු ජනාධිපතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බවයි.

“G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල් 134කින් සමන්විත විශාලතම අන්තර් රාජ්‍ය කණ්ඩායම වන අතර, එය දක්ෂිණ රටවලට ඔවුන්ගේ සාමූහික ආර්ථික අවශ්‍යතා ප්‍රකාශ කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ ඒකාබද්ධ සාකච්ඡා පැවැත්වීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා අවකාශය සලසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button