රාජපක්ෂ පවුලෙන් වන්දි ඉල්ලා නඩුවක්
![](https://www.sinhala.dailytimes.lk/wp-content/uploads/2023/11/mahinda-2.jpg)
රට තුළ මතුවී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා, බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් වගකිවයුතු ලෙස තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය අනුව සමස්ත ලංකා පාරිභෝගික එකමුතුව ඉදිරියේදී වන්දි නඩු ගොනු කිරීමට ක්‍රියා කරන බව එහි ලේකම් මිලින්ද ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ප්‍රේමරත්න මහතා සඳහන් කළේ, එවක පැවති පාලනය හා බලධාරීන් ගත් වැරදි ආර්ථික තීන්දු නිසා රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ලබා දුන් මෙම තීන්දුව අනුව වන්දි නඩු පැවැරිය හැකි බවට දැනටමත් නීති විශාරදයන් සිය මතය පළ කර ඇති බැවින් ඒ අනුව මෙම ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මෙම නඩු සිවිල් වාණිජ අධිකරණයක හෝ දිසා අධිකරණයක පැවැරිය හැකි බවට නීති උපදෙස් ලැබී ඇති බව පැවසූ ඔහු මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා පාරිභෝගික එකමුතුව ලෙස මේ දිනවල සාකච්ඡා කරමින් පවතින බවද සඳහන් කළා.
එහිහ්ඩී ඔහු චෝදනා කර ඇත්තේ, ගෑස් අනතුරුවලින් පමණක් මනුෂ්‍ය මරණ දහයකට වඩා සිදුවූ නමුත් අදටත් රජය ඊට සාධාරණය ඉටු කර නැති බවයි.
ගෑස් පිපිරීම් ඇතුළුව විවිධ අංශවලින් පසුගිය පාලන කාලයේදී ආර්ථික අපරාධ රැසක් සිදු වී ඇති බවත් ඒවාට එරෙහිව මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිර්දේශවලින් කිසිදු ඵලක්වී නැති බවත් ප්‍රේමරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා.