දේශීය

එකතු කළ අගය මත බද්දේ වෙනසක්

එකතු කළ අගය මතවන බදු අනුපාතිකය 2024.01.01 සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 18ක් දක්වා වැඩි කිරීමට අදාළ නීති සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ, ඊයේ(30) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී.

කැබිනට් තීරණ ඇතුළත් නිවේදනයේ සඳහන් වන්නේ, 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ මුල් මාස 09 තුළ රජයේ බදු ආදායම සියයට 51කින් ඉහළගොස් ඇති බවයි.

කෙසේවෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟවී ඇති බදු එකතු කිරීමේ ඉලක්ක සපුරාගැනීමට මෙතෙක් හැකිවී නොමැති බවද එහි වැඩිදුරටත් සඳහන්ව තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟවී ඇති පරිදි බදු ආදායම් සහ ප්‍රාථමික ශේෂ ඉලක්කයන් සපුරාගැනීමට හැකිවනු පිණිස මෙලෙස වැට් බද්ද ඉහළදැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි වාර්තාවන්නේ.

එසේම දැනට එකතු කළ අගය මත වන බද්ද අදාළ නොවන ඇතැම් භාණ්ඩ හා සේවා මත එකී බද්ද පැනවීම ඇතුළු නව බදු යෝජනා කිහිපයක් 2024.01.01 සිට ක්‍රියාත්මක කිරීමටත් අදාළ නීති සංශෝධනය කිරීම සඳහා මෙහිදී කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button