අලුත් සර්ප විශේෂයක් සොයාගනී

මෙරටින් නව “කණඋල්ලන්’’ විශේෂයක් (සර්ප විශේෂයක්) වසර 76කට පසු සොයාගෙන තිබෙනවා.
උරඟයන් සම්බන්ධ පර්යේෂණවල නිරත නෙතූ වික්‍රමසිංහ, දුලාන් ආර්. විදානපතිරණ, මහේෂ් සී. ද සිල්වා, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කමණී එච්. තෙන්නකෝන්, මහාචාර්ය සමීර ආර්. සමරකෝන් සහ උරග විශේෂඥ මෙන්ඩිස් වික්‍රමසිංහ දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද පර්යේෂණවලින් අනතුරුව මෙම කණඋල්ලන් විශේෂය සොයාගෙන තිබෙන බවයි වාර්තාවන්නේ.
මෙරටින් හමුවන සර්ප විශේෂ 108න් විශේෂ 10ක් නියෝජනය කරනු ලබන්නේ Scolecophidia කාණ්ඩයට අයත් සර්පයන් විසින් බව සඳහන්වනවා.
එම කාණ්ඩය කණඋල්ලන් ලෙස හඳුන්වන අතර මෙරටින් හමුවන කණඋල්ලන් Indotyphlops හා Gerrhopilus යන ගණ දෙක නියෝජනය කරනවා.
මෙරටින් අවසාන වරට කණඋල්ලන් විශේෂයක් විද්‍යාත්මකව විස්තර කරනු ලබන්නේ මීට වසර 76කට පමණ පෙර එඩ්වර්ඩ් ටේලර් විසින්.
ඔහු 1947 වසරේදී ත්‍රිකුණාමලය ආශ්‍රිතව ජීවත්වන කණඋල්ලන් විශේෂ පහක් සම්බන්ධයෙන් විස්තර ඉදිරිපත් කර ඇති බවයි වාර්තාවන්නේ.
මෙම නව කණඋල්ලන් විශේෂය සොයාගෙන ඇත්තේ වියළි කලාපයට අයත් ගිරිතලේ ප්‍රදේශයෙන්.
දුමුටු කණඋල්ලාට රූප විද්‍යාත්මකව සමාන මෙම නව විශේෂය Indotyphlops combank ලෙස විද්‍යාත්මකව හැඳින්වීමට පර්යේෂකයන් කණ්ඩායම කටයුතු කර ඇති අතර මේ අනුව මෙරටින් හමුවන සර්ප විශේෂ සංඛ්‍යාව 109 දක්වා වැඩිවී තිබෙනවා.