දේශීය

මැතිවරණ නීති කැඩීම ගැන බරපතල චෝදනාවක්

ජනාධිපතිවරණයේදී රාජ්‍ය බලය සහ සම්පත් අවභාවිත කිරීම දැඩි ගැටලුවක් බවට පත්ව ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ සහ මැතිවරණ කොමිසමේ නියෝග ප්‍රතික්ෂේප කිරීම බරපතල තත්වයක් බවත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් ප්‍රධානී මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා පවසනවා.

ඔහු පවසන්නේ, ඇතැම් වෘත්තීන්වල නිතරව සිටින විශේෂයෙන් කාන්තාවන් ඇතුළු ලක්‍ෂ තුනකට පමණ ඡන්ද අයිතිය අහිමිවීම ද විශාල ගැටලුවක් බවත් රට සිටින ජනතාව ඇතුළු පුරවැසියන් 10%ක් පමණ ඡන්ද අයිතිය අහිමිවී ඇති බවයි.

ඔහු මේ බව කියා සිටියේ, මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය කොළඹදී අද (06) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදීයි.

මන්ත්‍රීවරු දෙවැනි ගිනිඅවියත් ඉල්ලා සිටීම, වැඩබලන පොලිස්පතිවරයෙක් පත්නොකිරීම, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට යෝජනා කිරීම සහ ජනාධිපතිවරයාට පක්‍ෂ නැති රාජ්‍ය අමාත්‍යවරු ඉවත් කිරීම ආදිය රාජ්‍ය බලය පාවිච්චි කිරීමට උදාහරණ බවත් ජනාධිපතිවරයා හෙලිකොප්ටර් පාවිච්චි කරන්නේ ජනාධිපතිවරයා ලෙසද, ජනාධිපති අපේක්‍ෂකයෙක් ලෙස ද යන ගැටලුව ද මතු වන බවත් අර්ජුන පරාක්‍රම මහතා පවසනවා.

ජනාධිපතිවරයා මෙන්ම ජනාධිපති අපේක්‍ෂකයා වීම පිළිබඳව නීතිමය ගැටලුවක් ව්‍ය්‍යවස්ථාවෙන්ම නිර්මාණය වී ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත් කළ ඇමතිවරුන් දෙදෙනාට එම අමාත්‍යංශවල උපදේශක තනතුරු දීම විශාල ගැටලු මතු කරන බවත් ඔහු සඳහන් කළා.

ඡන්දය නොදුනහොත් ගෑස් නැතිවෙයි යැයි ප්‍රකාශ කිරීම තර්ජනයක් බවත් ජනාධිපති අපේක්‍ෂකයන්ට පෞද්ගලිකව අපහාස කිරීම නීති විරෝධී බවත් පරාක්‍රම මහතා පවසනවා.

මැතිවරණවලදී මීට පෙර වාර්තා වූ ශාරීරික ප්‍රචණ්ඩ ක්‍රියා අඩු වුවද ව්‍යුහාතමක තත්වයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ක්‍රියාත්මක වන බව පවසන පරාක්‍රම මහතා පැවසුවේ මැතිවරණ කොමිසම කරන දැනුම්දීම් ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කිරීම විශාල ගැටලුවක් බවට පත්ව ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button