දේශීය

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විශේ​ෂ දැනුම්දීමක්

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් අප්‍රේල් මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය බත්තරමුල්ල, ශ්‍රී සුභූතිපුර පාරේ පිහිටි “සුහුරුපායේ” 16 වැනි මහලෙහි ඇති නව කාර්යාල පරිශ්‍රය වෙතට රැගෙන යාමේ කටයුතු හේතුවෙන් මෙම දින දෙක තුළ එම සේවාවන් තාවකාලිකව අත්හිටුවන බවයි.

එම දෙදින තුළ යාපනය, ත්‍රිකුණාමලය, කුරුණෑගල, මහනුවර සහ මාතර යන නගරවල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල සාමාන්‍ය කාර්යාල වේලාවන්හි මහජනතාවට විවෘතව පවතින බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

ලේඛන සත්‍යාපනය සඳහා වූ අයැදුම්පත් සාමාන්‍ය පරිදි මෙම ප්‍රාදේශීය කාර්යාල වෙත ඉදිරිපත් කළ හැකි අතර සත්‍යාපනය කරනු ලැබූ ලේඛන යළි අයැදුම්කරුවන් වෙත ලබා දෙනුයේ මැයි 02 වන බ්‍රහස්පතින්දා දින බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

සිදුවිය හැකි කිසියම් අපහසුතාවන් මඟහරවා ගැනීම සඳහා, සත්‍යාපනය කිරීම පිණිස යම් හදිසි ලේඛන ඇතොත් ඒවා 2024 අප්‍රේල් මස 26 වැනි දින පස්වරු 4.15 ට පෙර කොළඹ පිහිටි කන්සියුලර් අංශයට හෝ ඕනෑම ප්‍රාදේශීය කන්සියුලර් කාර්යාලයකට භාරදෙන ලෙසට විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටියා.

ඒ අනුව මැයි මස 02 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි බත්තරමුල්ල, ශ්‍රී සුභූතිපුර පාරේ පිහිටි “සුහුරුපායේ” 16 වැනි මහලෙහි ඇති නව කාර්යාල පරිශ්‍රයේ සඳුදා සිට සිකුරාදා තෙක් පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා සාමාන්‍ය කාර්යාල වේලාව තුළ මහජනතාවට කොන්සියුලර් සේවාවන් සැපයෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button