දේශීය

ඡන්දෙ දා හදිසි ආපදාවලට සූදානමින් ඉන්නැයි කොමිසමෙන් උපදෙස්

ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන දින ගංවතුර සුළි සුළං හෝ වෙනත් හදිසි ආපදා ඇති වූවහොත් ඒවාට මුහුණදෙමින් මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ඔරු අගුල් බැකෝ යන්ත්‍ර යනාදි දෑ සූදානම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියළුම තේරීම් භාර නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම ඡන්ද විමසීම පැවැත්වෙන දින හදිසියේ ආපදාවන් ඇති වුවහොත් ඊට මුහුණ දීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස නාවික හමුදාවට සහ ගුවන් හමුදාවටද දැනුම් දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඔරු අගුල් යනාදිය සූදානම් කරන ලෙස කොමිසම දැනුම් දී ඇත්තේ නිතර ගංවතුර ඇතිවන ප්‍රදේශවල තේරීම් බාර නිලධාරීන්ටයි.

මේ සම්බන්ධයෙන් නුවරඑළිය තේරීම් භාර නිලධාරී නන්දන ගලබඩ මහතා පවසන්නේ, කොමිසමේ උපදෙස් අනුව හදිසි අපදාවන්ට මුහුණදීම සඳහා සියලු කටයුතු සූදානම් කරගෙන යන බවයි.

වර්ෂාව සමඟ නාය යෑම් සහ ගස් කඩා වැටීම් නුවරඑළිය දිස්ත්‍රික්කයේ බොහෝ විට දක්නට ලැබෙන තත්ත්වයක් බවත් එවැනි තත්ත්වයන් ඇති වුවහොත් ගස් සහ කඩා වැටෙන පස් කඳු ඉවත් කිරීම සඳහා බැකෝ යන්ත්‍ර සූදානම් කරන බවත් ඔහු සඳහන් කළා.

හදිසියේ ආපදාවන්ට මුහුණ දීම සඳහා සූදානම් වන ලෙස කොමිසම දිස්ත්‍රික් ආපදා කමිටුවලටද දැනටමත් උපදෙස්දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button