විදෙස්

ඊශ්‍රායලයේ අල් ජසීරා මෙහෙයුම් නවතා දමයි

කටාර් රාජ්‍යයට අයත් ‘අල් ජසීරා’ නාලිකාවේ මෙහෙයුම් ඊශ්‍රායලය තුළ නවතා දැමීමට ඊශ්‍රායලය අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ‘අල් ජසීරා’ නාලිකාවේ ප්‍රාදේශීය මෙහෙයුම් කාර්යාලයක් ලෙස භාවිතා කළ ජෙරුසලමේ පිහිටි හෝටල් කාමරයක් ඊශ්‍රායල පොලීසිය විසින් වටලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊශ්‍රායල රජය ගත් තීන්දුව අනුව එම කාර්යාල වසා දැමීම, විකාශන උපකරණ රාජසන්තක කිරීම, කේබල් සහ චන්ද්‍රිකා සමාගම්වලින් නාලිකාව කපා හැරීම සහ එහි වෙබ් අඩවි අවහිර කිරීම ඇතුළත් බව සඳහන්.

මෙම නාලිකාව විසින් පැය 24 පුරා මුළු යුද්ධයම ආවරණය වන පරිදි වාර්තා කර ඇති අතර ගාසා තීරයේ ඊශ්‍රායලයේ හමුදා මෙහෙයුම විවේචනය කර ඇති බවද සඳහන් වනවා.

ඊශ්‍රායලය පවසා ඇත්තේ, මෙම වාර්තාකරණය හරහා එරට ආරක්ෂාවට තර්ජනයක් සිදුවන බවයි.

කෙසේ වෙතත් ‘අල් ජසීරා’ නාලිකාව පවසා ඇත්තේ මෙම පියවර “සාපරාධී ක්‍රියාවක්” බවත් සිය මාධ්‍ය මෙහෙයුම් ඊශ්‍රායල ආරක්‍ෂාවට තර්ජනයක් වී ඇති බවට කරන චෝදනාව සිය මාධ්‍යවේදීන් අවදානමට ලක් කරන “භයානක හා හාස්‍යජනක බොරුවක්” වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button