දේශීය

ශ්‍රීලනිප අර්බුදයට මැතිවරණ කොමිසමෙන් උත්තරයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පවතින අභ්‍යන්තර ගැටලු විසදීමට සිය කොමිසමට කිසිදු නෛතික බලයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙනවා.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් මැතිවරණ කොමිසම වෙත ලබාදුන් තීන්දු හා ලේඛන ඊයේ (18) දිනයේදී එහි සාමාජිකයින් විසින් සාකච්ඡාවට ලක්කර ඇති බවයි වාර්තාවන්නේ.

පසුගිය 08 වනදා පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එහි දේශපාලන මණ්ඩලය රැස්වී පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කරගත් අතර මහලේකම්  ධුරයේ ක්‍රියා කිරීමට දුමින්ද දිසානායක මහතා වෙත බලය පවරා තිබුණා.

මෙම පත්කිරීම් සම්බන්ධ තොරතුරු හා ලේඛන දුමින්ද දිසානායක මහතා විසින් මැතිවරණ කොමිසම වෙත භාරදීමෙන් අනතුරුව පක්ෂ වැඩබලන මහලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා ද නව පත් කිරීම් සම්බන්ධයෙන් කොමිසම හමුවේ විරෝධතා ගොනු කළා.

ඒ අනුව ඊයේ රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්ව දෙකක් විසින් ඉදිරිපත් කර ඇති කරුණු පිළිබඳ අවධානය යොමුකර තිබුණා.

සාමාන්‍ය නෛතික වපසරිය සහ ක්‍රියාපටිපාටිය තුළ නිදහස් පක්ෂය තුළ හටගෙන ඇති අභ්‍යන්තර ගැටලු විසදීමට මැතිවරණ කොමිෂන් සභාවට නෛතික බලයක් නොමැති බැවින් පවතින ගැටලු පක්ෂයේ ක්‍රියාකාරීන් විසින් අධිකරණය හරහා විසදාගත යුතු බව එම කොමිසමේ මතය වී තිබෙනවා.

මේ වන විටත් නිදහස් පක්ෂයේ තනතුරු සහ පාර්ශ්ව සම්බන්ධයෙන් පවතින අර්බුදය අධිකරණය හමුවේ විභාග වන බැවින් ඉන් ලබාදෙන නියෝග හෝ නිර්දේශ පිළිගැනීමට පමණක් මැතිවරණ කොමිෂන් සභාවට හැකියාව පවතිනවා.

කෙසේවෙතත් යම් හෙයකින් ඉදිරියේදී මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරිමෙන් අනතුරුවත් නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර්බුද පැවතුණ හොත් ඔවුන්ට නාමයෝජනා ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් සලකා බලා මැතිවරණ ක්‍රියාවලිය යටතේ පමණක් යම් තීන්දුවක් ගැනීමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Related:


 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button