දේශීය

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත සංශෝධනයට අනුමැතිය

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක් වෙන කාන්තාව වෙනුවෙන් නඩුවක් ගොනු කිරීමට ඇයගේ සමීපතම කෙනකුට ඉදිරිපත් විය හැකි වීම ඇතුළු වගන්ති ගණනාවක් ඇතුළත් කරමින්, දැනට පවතින ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත සංශෝධනය කර, නව පනතක් ලෙස ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

කායික හිංසනයට අමතරව කාන්තාවක් සිය ස්වාමිපුරුෂයා විසින් ආර්ථික වශයෙන් අපයෝජනයට ලක් කිරීම, මානසික අපයෝජනයට ලක් කිරීම මෙන්ම කිසියම් නිවසක ජීවත්වන ඕනෑම පාර්ශ්වයක් විසින් එම නිවසේ කාන්තාවක් සයිබර් හිරිහැරවලට ලක්කිරීම, ආදියද ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව වැරදි ලෙස මෙම නව සංශෝධනයට ඇතුළත්.

ඊට අමතරව වින්දිතයා බවට පත්වන කාන්තාව ආරක්ෂා කිරීම සඳහා අධිකරණයෙන් පනවන ආරක්ෂණ නියෝග නිරන්තරයෙන් පසු විපරමට ලක් කිරීමට පොලිසියට ඇති වගකීමද මෙම සංශෝධන යටතේ වැඩි කර තිබෙනවා.

එමෙන්ම මීට පෙර අනිවාර්ය කර තිබූ, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක් කිරීමට වැරදිකරු වන පුද්ගලයා අනිවාර්ය උපදේශනයට යොමු කිරීම මෙම සංශෝධන මගින් අතිරේක විසඳුමක් බවට පත් කර තිබෙනවා.

ඉකුත් 2005 දී ඉදිරිපත් කර තිබූ මෙම පනත ක්‍රියාත්මක කිරීමේදී ඇති වූ විවිධ අඩුපාඩු හඳුනා ගනිමින් මෙම නව සංශෝධන පනතට ඇතුළත් කර තිබෙනවා.

පෙර පැවැති 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනතේ ඇතුළත් වගන්තිවලට අදාළව ඉදිරිපත් කරන ලද ඉහත සංශෝධන ඇතුළත් කරමින් එම පනතේ වත්මන් නාමය යටතේම නව පනතක් ඉදිරිපත් කිරීම සඳහා මෙම කැබිනට් අනුමැතිය හිමිවී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button