දේශීය

අර්ජුන් ඇලෝෂියස්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැරහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් ලබා සිටින ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙකු ඇප මත මුදාහරින ලෙස කළ ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රසික් සාරුක් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරුවන්ට එරෙහි නඩුකරය මේ වනවට අපරාධමය නඩුකරයක් බවට පත්වී ඇති නිසා ඔවුන් ඇපමත මුදාහරින ලෙස ඉල්ලා සිටියා.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා සඳහන් කළේ, මෙය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සහතිකයක් මත ඉදිරිපත් කළ නඩුවක් බවයි.

මෙහි වගඋත්තරකරුවන්ට නියම කර ඇත්තේ, විකල්ප දඩුවමක් වන හෙයින් එය අපරාධමය නඩුකරයක් බවට පත් නොවන නිසා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළා.

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙකුට  කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පෙරේදා දින මාස 06‍ක සිරදඬුවම් නියම කළා.

2016 වසරේ සිට 2019 වසර දක්වා කාල සීමාව තුළ රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම වගඋත්තරකරුවන්ට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.

අදාළ බදු මුදල් ගෙවන ලෙස අධිකරණය විසින් වගඋත්තරකරුවන්ට ඉකුත් වසරේ නොවැම්බර් මස 14 වෙනිදා නියෝගයක් නිකුත් කර තිබුණා.

අදාළ නඩුව පෙරේදා දින (14) කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ, ඉකුත් නොවැම්බර් මස නිකුත් කළ තීන්දුවට එරෙහිව තම සේවාදායකයින් කොළඹ මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවයි.

එහෙත් කොළඹ මහාධිකරණය විසින් අදාළ බදු මුදල් ගෙවන ලෙස ඉකුත් නොවැම්බර් මස 14 වනදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගය ක්‍රියාත්මක වීම අත්හිටුවා අතුරු තහනම් නියෝගයක් නිකුත් කර නොමැති බවත් අධිකරයෙ හමුවේ කරුණු අනාවරණය වුණා.

ඒ අනුව 14 දින දිනය තුළ අදාළ බදු මුදල් ගෙවා අවසන් කළ යුතු බවත් එසේ නොකළහොත් මාස 06ක සිරදඬුවම් නියම කරන බවත් මහෙස්ත්‍රාත්වරයා විසින් වගඋත්තරකරුවන්ට නියෝග කළා.

ඒ අනුව අදාළ මුදල් නොගෙවීම හේතුවෙන් වගඋත්තරකරුවන්ට එරෙහිව අධිකරණය විසින් මෙම සිරදඬුවම නියම කළා.

මේ අතර තමන්ට නියම වී ඇති මාස 06ක සිරදඬුවම් නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා අර්ජුන් ඇලෝෂියස් ඇතුළු වගඋත්තරකරුවන් දෙදෙනා විසින් කොළඹ මහාධිකරණයට යොමු කිරීම සඳහා භාරදුන් අභියාචනය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා.

ගෙවීමට නියමිත බදු මුදල් කොටස් වශයෙන් ගෙවීමට අවසර දෙන ලෙසත් මෙම වග උත්තරකරුවන් විසින් එම අභියාචනය තුළින් ඉල්ලා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button