දේශීය

ඔස්ට්‍රේලියාවේ විශාලතම ගුවන් ගමන් ආහාර සැපයුම්කරු ශ්‍රී ලංකාවෙන් සූපවේදීන් බඳවා ගැනීමට සූදානම්

ඔස්ට්‍රේලියාවේ විශාලතම ගුවන් ගමන් ආහාර සැපයුම්කරු වන Dnata සමූහය ශ්‍රී ලංකාවෙන් සූපවේදීන් බඳවා ගැනීමට සූදානම් බව මෙරට විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

ඒ පසුගිය දා (පෙබ. 28) අමාත්‍යවරයා සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාවේ දී Dnata සමූහයේ නියෝජිතයන් විසින් මේ බව අමාත්‍යවරයාට පැවසු අවස්ථාවේදී ය.

එහිදී ඔස්ට්‍රේලියාවේ රැකියා අවස්ථා සඳහා මෙරට තරුණ තරුණියන් පුහුණු කර බඳවා ගැනීමට ද සූදානම් බව ත්, සූපවේදී කාණ්ඩය යටතේ මෙරට තරුණ තරුණියන් 12 දෙනෙකු මේ වන විටත් Dnata සමූහයේ රැකියා සඳහා තෝරාගෙන ඇති බව ත්, ඔවුන් ඔස්ට්‍රේලියාවේ රැකියාගත කරන බව ත්, ඒ සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹීමට සූදානම් බව ත් ඔවුන් ඊයේ අමාත්‍යවරයාට ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන් ම, ඔවුන්ගේ රැකියා අවශ්‍යතාවන් අනුව මෙරට තරුණ තරුණියන් පුහුණු කර රැකියාගත කිරීමට අපේක්ෂා කරන බව ත්, පුහුණු වෘත්තිකයක් සඳහා රැකියා අවස්ථා ඕනෑ තරම් පවතින බවත් Dnata සමූහයේ නියෝජිතයන් එහිදී ප්‍රකාශ කර තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යංශය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹීමෙන් අනතුරුව සංචාරක කර්මාන්තයට සම්බන්ධ පුහුණු ආයතන හා සාකච්ඡා කර, තරුණ තරුණියන් වෙත පුහුණු අවස්ථා සකස් කර දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසා සිටි අතර, එහිදී Dnata සමූහයේ නියෝජිතයන් අමාත්‍යවරයා වෙත පවසා සිටියේ මෙරට තරුණ තරුණියන් ඔස්ට්‍රේලියාවේ රැකියාගත කිරීමේ දී තමන් මුහුණ දෙන ප්‍රධාන ම අභියෝගය වී ඇත්තේ ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම බව ත්, මෙරට වෘත්තීය සූපවේදීන්ට පවා ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව නොමැති බැවින් ඔස්ට්‍රේලියාවේ බොහෝ රැකියා අවස්ථා අහිමි වන බව ත් ඔවුහු එහිදී අමාත්‍යවරයා වෙත පැවසුවා.

Dnata සමූහය එමිරේට් ඩුබායිහි අනුබද්ධ ආයතනයක් වන අතර මේ වන විට තුන් දහසකට අධික පිරිසක් එහි සේවය කරනු ලැබනවා.එසේ ම වාර්ෂිකව ගුවන් ගමන් වාර 250,000 ක් සඳහා ආහාර සැපයුම් කරන අතර ආහාර වේල් මිලියන 64ක් නිකුත් කරනු ලබයි. ඒ සඳහා නගර 09ක, ගුවන්තොටුපළ 15ක මෙහෙයුම් කටයුතු සිදු කෙරේ. එසේ ම ගුවන් ගමන් ආහාර සැපයුම්කරුවකුගේ කාර්යයට අමතර ව ගුවන්තොටුපළ විවේකාගාර කළමණාකරණය මෙන් ම ප්‍රතිසැකසුම් ආහාර නිෂ්පාදනයේ ද නිරත වෙනවා.

මේ මගින් සූපවේදය, ආහාර සැකසුම් කර්මාන්තය සේ ම ගුවන්තොටුපළ විවේකාගාර ක්ෂේත්‍රයේ රැකියාවන්හි නිතර වීමට අපේක්ෂා කරන මෙරට තරුණ තරුණියන්ට පුහුණු රැකියා සඳහා අවස්ථාව උදා වනු ඇති. එය ක්‍රමයෙන් ගොඩනැගමින් යන ලංකාවේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු සාධකයක් ද වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button