දේශීය

බන්දුල ගුණවර්ධන ඉම්රාන් ඛාන්ව හමුවෙයි

පාකිස්ථානයේ නිල සංචාරයක නිරත වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (26) පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරදී අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පාකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් මහතා හමුවුණා.

මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ පාකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා-පාකිස්ථානු වෙළෙඳ ගිවිසුමෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා නිරන්තර සාකච්ඡා පැවැත්වීමත්, අදහස් හුවමාරු කරගනිමින් සිය වෙළෙඳ කටයුතු වඩාත් ව්‍යාප්ත වූ වපසරියක් තුළ පවත්වා ගැනීමට රටවල් දෙකෙහිම ව්‍යාපාරිකයන් මෙහෙයවීමට අවශ්‍ය පියවර ගත යුතු බවයි.

එමෙන්ම පාකිස්ථානු රජය වශයෙන් බෞද්ධාගමික සංචාරක ක්ෂේත්‍රය සඳහා පාකිස්ථානය තුළ ඉඩ හසර වෙන් කර ඇති බවත්, ඒ අනුව ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ජනතාව පාකිස්ථානය තුළ සංචාරය කිරීමේ වැඩපිළිවෙල ප්‍රවර්ධනය කිරීමත් අපේක්ෂා කරනු ලබන බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

එහිදී අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේ තමා වෙත සිදු කළ ආරාධනයට අනුව දෙරට අතර වෙළෙඳ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් ශ්‍රී ලාංකික ව්‍යාපාරික පිරිසක් සමඟ පාකිස්ථානයට පැමිණි අවස්ථාවේ දී, තමා ඇතුළු දූත පිරිස ලද පිළිගැනීම සම්බන්ධයෙන් සිය ස්තුතිය පිරිනමනු ලබන බවයි.

එමෙන්ම දෙරට අතර මිතුදම තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම සංචාරය තුළින් තමා මෙන්ම කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සහ දූත පිරිස අපේක්ෂා කරනු ලබන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

අධ්‍යාපන, සෞඛ්‍ය අංශ, තාක්ෂණික, ඇඟළුම්, සංචාරක ඇතුළු ක්ෂේත්‍රයන් ගණනාවක් තුළින් ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර වෙළෙඳ සහයෝගීතාවය වඩාත් ශක්තිමත්ව පවත්වා ගැනීම සඳහා කටයුතු කළ හැකි බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සහ විදේශ අමාත්‍යාංශ නියෝජිතයින්, වෙළෙඳ අමාත්‍යාංශ නියෝජිතයින් මෙන්ම ශ්‍රී ලංකාවේ හා පාකිස්ථානයේ ව්‍යාපාරිකයින් පිරිසක් එක් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button