2024 අය-වැය අද
රාජ්‍ය සේවකයන් ලක්ෂ 15කගේ වැටුප් වැඩිවීම ඇතුළු රටේ සමස්ත ජනතාවට සහන හා ප්රතිලාභ අපේක්ෂිත 2024 වසර සඳහා වන අය-වැය වාර්තාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (13) පෙරවරු 12.00ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
2024 වසර සඳහාවන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම හෙවත් ‘අය-වැය කථාව’ ජනාධිපතිවරයා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු, දෙවන වර කියැවීමේ විවාදය හෙට (14) ආරම්භවන බව සඳහන්.
14 සිට 21 දක්වා, ඉරිදා දිනයන් හැර දින 07ක් විසර්ජන පනත් කෙටුම්පත (අය වැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර අය-වැය දෙවන වර කියවීමේ විවාදයට අදාළ ඡන්ද විමසීම 21 වැනි අඟහරුවාදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතයි.
ඉන් පසුව අය-වැය කාරක සභා අවස්ථා විවාදය හෙවත් අය-වැය පිළිබඳ තෙවන වර කියැවීම 22 බදාදා සිට දෙසැම්බර් 13 බදාදා දක්වා ඉරිදා දිනයන් හැර දින 19ක් පැවැත්වීමට නියමිත බව සඳහන්.
මේ අනුව 2024 මූල්‍ය වර්ෂය සඳහා වන අය-වැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනි බදාදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතයි.
අය-වැය විවාද කාල සීමාව තුළ සෑම දිනකම පෙරවරු 9.30 සිට පස්වරු 6.00 දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර ඡන්ද විමසීම් පැවැත්වෙන දිනයන්හි හැර අන් සෑම දිනකම පස්වරු 6.00 සිට ප.ව 6.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වෙනවා.
2024 සඳහා වන අය-වැය ඉදිරිපත් කරන අද (13) දිනයේදී පාර්ලිමේන්තුව තුළ හා ඒ අවට විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක්ද යොදා ඇති බවයි වාර්තාවන්නේ.
අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අද (13) දිනයේදී මහජන ගැලරිය රාජ්‍ය තාන්ත්‍රික අමුත්තන් සඳහා පමණක් සීමා කර ඇති අතර එමෙන්ම පාර්ලිමේන්තු රථගාල අද දිනයේදී වසා තබන බැවින්, මන්ත්‍රීවරුන් පැමිණෙන වාහන අදාළ රථගාල් වෙත යොමු කිරීම සඳහා වැඩපිළිවෙළක්ද සැලසුම් කර තිබෙනවා.
මේ අතර අය වැය අවසන් අදියර සකස් කිරීමේ කටයුතු සහ ඉදිරිපත් කිරීම පිළිබඳව සාකච්ඡාවක් ජනාධිපති නිල නිවසේදී පෙරේදා (12) පැවැත්වුණු අතර මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, ෂෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජනාධිපති උපදේශක සමන් අතාවුදහෙට්ටි, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් මධුශංක දිසානායක යන මහත්වරු ඊට එක්ව තිබෙනවා.