විභාග සමත්වීමට නම් දෛනිකව පාසල් පැමිණීම අත්‍යවශයි – සුසිල් ප්‍රේමජයන්ත
ඉදිරියේ දී දරුවන් පාසල් පන්ති කාමරය තුළ රැඳීසිටීම අනිවාර්ය වන අතර සියලුම ශ්‍රේණිවලට එය අදාළ වන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා.
ඒ අනුව, සිසුන්ට විභාග සමත්වීමට දෛනික පාසල් පැමිණීම අත්‍යවශ්‍ය කරුණක් බවද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අවධාරණය කර සිටිනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ, නව අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමය තුළ පහේ ශිෂ්‍යත්ව විභාගයේදී පවා හතර, පහ ශ්‍රේණි දෙකේදී පන්ති කාමරයේ රැඳී සිට උපයාගත යුතු නිශ්චිත ලකුණු ප්‍රමාණයක් පවතින බැවින් මෙම තීරණය ගත් බවයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, අතිපූජ්‍ය නිවිතිගල ධම්මානන්ද නාහිමි අනුස්මරණ ශිෂ්‍යත්ව පදනමේ අයගම කොට්ඨාසයේ 2022 ශිෂ්‍යත්ව සමතුන් ඇගයීමේ උත්සවයට එක්වෙමින්.
අධ්‍යාපනය යනු ශාලාවක් තුළ දරුවන් එක්දහස් පන්සියක් පමණ රැස් කර දේශන පැවැත්වීම මගින් සාර්ථක කරගත හැකි ක්‍රියාවලියක් නොවන බවත් එය, දරුවන්ගේ විනය සැකසීම, බහුවිධ කුසලතා හා නිපුණතා සංවර්ධනය කිරීම සඳහා ප්‍රමුඛත්වය දිය යුතු සංකීර්ණ ක්‍රියාවලියක් බවත් අමාත්‍යවරයා කියා සිටියා.
ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ අවශ්‍ය උපකාරයක් ලබා ගැනීම වරදක් නොවන නමුත් එය වාණිජත්වය පදනම් කරගත් කර්මාන්තයක් දක්වා විකාශනය වී තිබීම යෝග්‍ය තත්ත්වයක් නොවන බව කී අමාත්‍යවරයා, වත්මන් ආර්ථික හා සමාජ අභියෝග හමුවේ දුෂ්කරතාවලට මුහුණදී සිටින දෙමාපියන්ට දරුවන්ගේ උපකාරක පන්ති වෙනුවෙන් අතිවිශාල මුදලක් වෙන්කිරීමට සිදුවීමේ ඛේදනීය තත්ත්වය වහා ම වළක්වාගත යුතු බවද ඔහු ප්‍රකාශ කළා.
එසේ නොවුණහොත්, ගුරු පුහුණු සැසි පවත්වා අධික මුදලක් වැය කර ගුරු වැටුප් ගෙවා භෞතික හා මානව සම්පත් සංවර්ධනය කර පාසල් පවත්වාගෙන යාමේ නිදහස් අධ්‍යාපන අරමුණු වියැකී යන බවත් සඳහන් කළා.
මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ, ශිෂ්‍යත්ව විභාගය සමත් වීම යනු කඩයිම් ලකුණට ඉහළින් ලකුණු ලබාගැනීම නොවන බවත් එම කඩයිම් ලකුණ තීරණය කෙරෙන්නේ රජයට වසරකට සිසුන්ට ලබා දිය හැකි ශිෂ්‍යත්ව අරමුදලේ ප්‍රමාණය මත නිසා තව දුරටත් ප්‍රතිපාදන වැඩි කළ හැකි නම් ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු තවදුරටත් අඩු වන බවයි.
එබැවින්, එම ලකුණු මත දරුවන් මැනීම සාධාරණ නොවන බව අතර, ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමේ අවස්ථා ලබාදීම සඳහා පවත්වනු ලබන මෙම ශිෂ්‍යත්ව විභාගයට දැනට එම පාසල්වල සිටින දරුවන් යොමු කරවීම ඵලරහිත ක්‍රියාවක් බවත් එමඟින් දැනටමත් පවත්නා අනවරත විභාග තරගකාරිත්වය තව දුරටත් උත්සන්න වීම සිදුවන බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරනු ලැබුවා.
එමෙන්ම, ඉදිරියේදී උසස් පෙළ විභාගය පැවැත්වුණද 2024 ජනවාරිවල පාසල්වල ප්‍රාථමික පන්ති පවත්වාගෙන යාමට අපේක්ෂා කරන අතර, ලබන වසර තුළ අතපසු වූ සියලු විෂය ආවරණ කටයුතු සම්පූර්ණ කර නිමා කරන බවද ඊට අදාළ ව නිවාඩු කාලය අඩු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.