දේශීය

දයාසිරිගේ ශ්‍රිලනිප සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා​ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අහෝසි කරමින් ඔහු වෙත එම පක්ෂයේ සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහ​තා විසින් ලිපියක් යවා තිබෙනවා.

එම ලිපිය මගින් එම පක්ෂයේ වත්මන් සභාපතිවරයා සඳහන් කර ඇත්තේ, හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහ​තා විසින් ලියාපදිංචි දේශපාලන පක්ෂ තුනක් සහ සංවිධාන 18 සමග එක්ව මානුෂීය ජනතා සංධානය නමින් දේශපාලන සන්ධානයක් පිහිටුවා ගෙන ඇති බවත් එය පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනි නීති විරෝධී ක්‍රියාවක් බවයි.

ඒ අනුව, පක්ෂ ව්‍යවස්ථාව අනුව සභාපතිවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව මෙම තීරණය ගත් බවත් දින 07 ක් ඇතුලත නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙසත් එම ලිපිය මගින් දන්වා තිබෙනවා.

මේ අතර, කුමන හෝ හේතුවකින් එම කාල සීමාව තුළ නිදහසට කරුණු ඉදිරිපත් නොකළොත් විනය පියවර ගැනීම සම්බන්ධයෙන්ද සලකා බලන බව අදාළ ලිපිය මගින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වෙත දන්වා තිබෙනවා.

කෙසේ නමුත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් එවක දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එම පක්ෂයේ දරණු ලැබූ මහ ලේකම් ධුරය ඉවත් කිරීමට ගනු ලැබූ තීන්දුවට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් ඊයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button