විදෙස්

ඩොනල්ඩ් ට්‍රම්ප් නීතියට බාර වෙයි

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ ගත් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන්, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නීති බලධාරීන්ට භාර වී තිබුණා.

නීති බලධාරීන්ට බාර වෙන්නැයි, හිටපු ජනාධිපතිවරයාට ඊයේ (24) දිනය තෙක් කල් දී තිබුණු අතර, බාර නොවූයේ නම්, ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානම් කර තිබුණා.

ට්‍රම්ප්ට අපරාධ චෝදනා රැසකට අධි චෝදනා ගොනු කර ඇති අතර, ඇමෙරිකාවේ ජනාධිපතිවරයකුට හෝ හිටපු ජනාධිපතිවරයකුට චෝදනා ගොනු කෙරුණු පළමු අවස්ථාවද මෙය වනවා.

2020 ජනාධිපතිවරණායේ දී ජෝර්ජියා ජනපදයේ, ජනාධිපතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට ට්‍රම්ප් බලපෑම් කළේ යැයි යන්න ට්‍රම්ප්ට එල්ල වී තිබෙන චෝදනාවලින් එකක්.

ට්‍රම්ප් නිව් ජර්සි ජනපදයේ බෙඩ්මින්ස්ටර් නුවර සිය නිවසේ සිට ජෝර්ජියා ජනපදයේ ඇට්ලැන්ටා නුවර ගුවන්තොටුපොළට පැමිණියේ පෞද්ගලික ගුවන් යානයකින්.

ඉන්පසු ට්‍රම්ප් නීතීඥවරුන් සමග ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයට යන අතරතුර, අපරාධකරුවකු ලෙස සලකමින්, ට්‍රම්ප්ගේ ඡායාරූප (මග්ෂොට්) ලබා ගැනීම සිදු වු බව වාර්තා වුණා.

ඒ, අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එම නම ඇතුළත් කිරීමටයි.

අපරාධකරුවකු ලෙස සලකා, මෙසේ පොලිස් ඡායාරූපයකට ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු පෙනී සිටි පළමු අවස්ථාවද මෙය යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

සියලු කටයුතු අවසන් වී මිනිත්තු 20 කට පසු ඇමෙරිකන් ඩොලර් ලක්ෂ 2 ක ඇප බැඳුම්කරයක් යටතේ ට්‍රම්ප් නිදහස් වූ අතර, ජෝර්ජියා ජනපදයේ ඇට්ලැන්ටා නුවරට ගිය අවස්ථාවේදී, ට්‍රම්ප් රැස්ව සිටි මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ, එදා තමන් ජනාධිපතිවරණ ප්‍රතිඵලය අභියෝගයට ලක් කළේ තමාට අසාධාරණයක් සිදුවුණු බැවින් බවයි.

රිපබ්ලිකන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන ට්‍රම්ප්, පළමු වරට ඇමෙරිකාවේ ජනාධිපති වූයේ 2016 වසරේ ජනාධිපතිවරණයෙන්.

2020 ජනාධිපතිවරණයට ට්‍රම්ප් ඉදිරිපත් වුවත්, ඔහුට ජයග්‍රහණයට කිරීමට නොහැකි වූ අතර, ජයග්‍රහණය කළේ, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන්.

ට්‍රම්ප් එම පරාජය බාර නොගත් අතර, ඔහු දිගින් දිගටම උත්සාහ කළේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය වෙනස් කිරීමටයි.

කෙසේ වෙතත්, ට්‍රම්ප් මීළග 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවත්, ඔහුට එල්ල වන චෝදනා ඊට බාධාවක් වන බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button