ලසන්තව මරන්න නියෝග කළෙත් ගෝඨාභයද?
2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිකුත් කළ ආන්දෝලනාත්මක Channel 4 Dispatches වැඩසටහන සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකාවේ රහස් හෙළිකරන්නා හංසීර් අසාද් මවුලානා සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබදව කරුණු අනාවරණය කළා.
ඔහු පවසන්නේ, සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මඟපෙන්වීම යටතේ සිදු කළ බවයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2008 මහින්ද රාජපක්ෂ රජය ආරක්ෂක ලේකම්වරයාව සිටියදී පුවත්පත් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට නියෝග කළ බව, මවුලානා එම විඩියෝපටයේ එක් ස්ථානයක විස්තර කර තිබෙනවා.
මවුලානා ප්‍රකාශ කරන්නේ, මීට පෙර ගෝඨාභය රාජපක්ෂ සහ පිල්ලෙයාන් සමඟ පැවති සාකච්ඡාවකදී ‘ට්‍රිපොලි ප්ලැටූන්’ නමින් පැරාමිලිටරි ඝාතක කණ්ඩායමක් පිහිටුවීමට උදව් කරන ලෙස ඉල්ලා සිටි බවත්, ඉන්පසු ආණ්ඩුවට විරුද්ධ පුද්ගලයන් කණ්ඩායම තෝරාගෙන එවැනි පුද්ගලයන් ඉලක්ක කර ඝාතනය කළ බවයි.
රාජපක්ෂ පාලනය පිළිබඳව ලසන්ත දිගින් දිගටම කරන විවේචනත්, කුප්‍රකට මිලිටරි ජෙට් යානයක් වන මිග් ඩීල් පිළිබඳ ඔහු හෙළිදරව් කළ ලිපියත් හේතුවෙන් ගෝඨාභය කෝපයට පත් වූ බව මවුලානා ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම, විදේශ රටක දේශපාලන රැකවරණය ඉල්ලා සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි නිශාන්ත සිල්වා, ලසන්ත ඝාතන නඩුවට අදාළව මෙම විඩියෝපටයට ප්‍රකාශ ලබා දී තිබෙනවා.
මේ අතර, 2019 වසරේදී සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කළ යුතු බවත්, එම සිදුවීමේ සියලු පැති ආවරණය වන පරිදි ස්වාධීන පරීක්ෂණයක් ජාත්‍යන්තර සහාය ඇතිව පැවැත්විය යුතු බවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඊයේ (06) ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කළ වාර්තාවක සදහන් කර තිබෙනවා.
එසේම පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ට දඬුවම් ලබා දීමට කටයුතු කළ යුතු බවද, මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙනවා.
සත්‍ය සෙවීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් වරදකරුවන් සිදුකළ වැරදි පිළිබඳ වගකීම් එම වරදකරුවන්ට ලබා දීමට ප්‍රමාණවත් යාන්ත්‍රණ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට සියලු දෙනා කැපවිය යුතු බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ වගවීම පිළිබඳව ක්‍රියාත්මක වන යාන්ත්‍රණ ප්‍රමාණවත් නොවන බවද එම වාර්තාවේ සඳහන් වෙනවා.
එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 14ක කාලයක් ගෙවුණත් තවමත් දස දහස් ගණනක් වූ වින්දිතයන්ගේ පවුල්වල සාමාජිකයන් සත්‍ය, යුක්තිය සහ විසඳුම් සොයමින් වේදනා විඳින බවයි.
මීට අමතරව, චැන්ල් 4 නාලිකාව අනාවරණය කළ කරුණු සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට රාජ්‍ය අමාත්‍ය පිල්ලෙයාන් ඊයේ(06) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවේ පෙනී සිටියා.
චැන්ල් 4 නාලිකාව පිළිබද්ව මාධ්‍යට පැවසූ ඔහු,
“මාව පාස්කු ප්‍රහාරයට සම්බ්න්ධ කරලා චැනල් ෆෝ නාලිකාව විඩීයෝවක් නිකුත් කරලා තියෙනවා. මේ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු කවුද කියලා තවමත් හොයනවා. චැනල් 4 නාලිකාවෙන් එල්ල කරලා තිබුණ ඒ චෝදනාවට එරෙහිව තමයි මම පැමිණිල්ල කරන්නේ.මෙහේ ඉන්න නිලධාරින් කිව්වා මේ ගැන පොලිස්පතිවරයාත් එක්ක සාක්ච්ඡා කරලා පැමිණිල්ල යොමු කරන්න කියලා. පොලිසපතිවරයා හමුවන්න හෙට වෙලාවක් ලබා දුන්නා.”