දේශීය

රනිල්ට ජපන් අගමැතිගෙන් සහ ජගත් මහලේකම්ගෙන් සුභ පැතුම්

ශ්‍රී ලංකාව තුළ දේශපාලන ස්ථාවරත්වයක් අපේක්ෂා කරන බව ජපාන අගමැති ෆූමියෝ කිෂිඩා පවසා තිබෙනවා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා මගින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ඉක්මන් ප්‍රගතියක් ලැබෙනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

නිදහස් හා විවෘත ඉන්දු – පැසිෆික් ප්‍රතිපත්තියක් සඳහා සහයෝගීතාව අපේක්ෂා කරන බවද ජපාන අගමැතිවරයා පෙන්වාදී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාව මුහුණදී සිටින වත්මන් අභියෝග ජයගැනීමට හිතකර පරිසරයක් සහ ස්ථාවරත්වයක් ගොඩනැගීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය තීරණාත්මක වනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසනවා.

ඒ, ජනාධිපතිවරයා වෙත සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින්.

මෙම අභියෝගවලට මුහුණදීම සඳහා ජාතික උපායමාර්ගයක් සකස් කිරීමේදී සියලු දේශපාලන පක්ෂ අතර සම්මුතියක් ඇති කරගැනීමට ජනාධිපතිවරයා දක්වන කැපවීම එක්සත් ජාතීන්ගේ මහලේකම් විසින් පිළිගෙන ඇති බවත් ජනාධිපතිවරයා වෙත යොමු කළ සුබපැතුම් පණිවුඩයේ දක්වා තිබෙනවා.

එසේ කිරීමේදී මහජනතාව සමග අදහස් විමසීම මෙන්ම නීතියේ ආධිපත්‍ය සහ මූලික මානව හිමිකම් මූලධර්මවලට ගරු කිරීම ඇතුළු සියලුම පාර්ශ්වකරුවන් අතර සංවාදය දිරිමත් කිරීමේ වැදගත්කම ද පෙන්වා දෙන ජගත් මහලේකම්වරයා කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය සඳහා ශ්‍රී ලංකාව දරණ උත්සාහය පිළිගැනීමට සහ ප්‍රගතිය වේගවත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නායකත්වය දිරිමත් කිරීමට සහයෝගය පළකර ඇති බවද අදාළ පණිවුඩයෙන් දක්වා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ක්ෂණික හා දිගුකාලීන අවශ්‍යතා සපුරාලීමට සහාය දැක්වීමට සූදානමින් සිටින අතර සියලු ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සාමය ගොඩනැගීම අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවද පෙන්වා දී තිබෙනවා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button