විදෙස්

මානුෂීය ආධාර ට්‍රක් රථ ඊජිප්තු දේශසීමාවෙන් ගාසා තීරයට

යුද්ධය ආරම්භ වීමෙන් පසු ඊශ්‍රායල හමුදාව විසින් වටලනු ලැබූ ගාසා තීරයේ අවතැන්වූ ජනතාව වෙත පළමු මානුෂීය ආධාර ට්‍රක් රථ පෙළ ඉකුත් පෙරේදා දින ඊජිප්තුවේ රෆා දේශසීමාවෙන් ඇතුළුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පළමු ආධාර තොගය රැගත් ට්‍රක් රථ 20ක් ගාසා තීරයට ඇතුළුවූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර ඇති අතර, ඉන් වැඩි ප්‍රමාණයක් ගාසා තීරයේ රාජකාරියේ නිරතව සිටින රතු කුරුස සංවිධානයේ සාමාජිකයන්ට ජීවිතාරක්ෂක මෙවලම් ඇතුළත්වූ බවයි සඳහන්වන්නේ.

ඒ අනුව ජනතාව අතර බෙදා හැරීම සඳහා දෙවැනි තොගය ගාසා තීරයට යැවීමට තීරණයවී තිබූ අතර, එම ප්‍රමාණය කොපමණදැයි තහවුරු කර නොතිබුණු බව එහිදී වාර්තාවනවා.

එමෙන්ම යුද්ධයෙන් පීඩාවට පත්වූ පලස්තීන ජනතාව ලක්ෂ 23ක් ගාසා තීරයේ සිටින බව සඳහන්වී තිබෙනවා.

කෙසේවෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් ප්‍රකාශ කර තිබෙන්නේ, හදිසි අවශ්‍යතා ආවරණය කිරීම සඳහා ගාසා තීරයට දිනකට අවම වශයෙන් ට්‍රක් රථ 100ක් අවශ්‍ය බවයි.

මානුෂීය ආධාර සැපයීමේ දෙවැනි ට්‍රක් රථ පෙළ ඊජිප්තු දේශසීමාව ඔස්සේ ඊයේ(22) ගාසා තීරයට ඇතුළු වීමට නියමිතව තිබූ අතර, ඒ සඳහා ඊජිප්තු බලධාරින්ගේ අවසරය ලැබිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධාන ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button