දේශීය

ඡන්දෙකින් ආසන 113ක් නොලැබුණොත් අනෙක් මන්ත්‍රීවරුන්ගේ එකඟත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවනවා – අනුර කුමාර දිසානායක

මැතිවරණයකදී ආණ්ඩුවක් සෑදීමට ජාතික ජනබලවේගයට මන්ත්‍රීධූර ලබාදීමට ජනතාව උත්සාහ කළද මන්ත්‍රීධූර 113ක් ලැබී නොමැති නම් තේරී පත්වන අනෙක් මන්ත්‍රීවරුන් සමග එකඟතාවයක් ඇති කරගෙන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (05) නිව්යෝර්ක් නුවරදී ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු සඳහන් කළේ, ජාතික ජන බලවේගයට ආණ්ඩුවක් ලබාදීමට ජනතාව උත්සාහ කර ඇත්නම් එය පසෙක දැමීමට තමන්ට අයිතියක් නැති බවයි.

ඇමරිකාවේ නගර කිහිපයකදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පැවැති ජනහමු මාලාවේ අවසන් රැස්වීම නිව්යෝර්ක් Staten Island හිල්ටන් හෝටලයේදී පැවැත්වුණා.

තම පාලනයක් යටතේ හම්බන්තොට වරාය නාවික සේවා පවත්වාගෙන යන වරායක් බවට පත් කරන බව පවසන අනුර කුමාර දිසානායක මහතා පැමිණිලි පාර්ශ්වයේ දුර්වලතා මත පසුගිය කාලයේ මුදල් විශුද්ධිකරණ චෝදනාවලින් සහ අල්ලස් නඩුවලින් නිදහස් කළ සියලු‍ දේශපාලකයින්ට අදාළ එම නඩු යළි පවරන බවද සඳහන් කළා.

ජාතික ජන බලවේග⁣යේ නිව්යෝර්ක් ශාඛාව විසින් සංවිධානය කළ මෙම ජනහමුවේදී අනුර කුමාර දිසානායක මහතා දැක්වූ අදහස්,

“අද ශ්‍රී ලංකාවේ නව ව්‍යවසායකයින් බිහිවීම සඳහා දත්ත නැහැ. තවම අපේ ව්‍යවසායකයා ගමන් කරන්නේ ඉවට. අද ලෝකය ගමන් කරන්නේ ඩේටා සමග. දත්ත මත පුරෝකථනය කර ආයෝජකයන් කැඳවිය යුතුයි. රාජ්‍ය, පෞද්ගලික සහ සමූපකාර අංශය සමග ඇති කරගත් සාමුහික ආර්ථිකය තමයි ඉදිරියට යන්නේ. අප අකුරැස්ස සමූපකාරය කරනවා. එමගින් ලබන වසරේ අප රෝහලක් ආරම්භ කරන්න සූදානම් වෙනවා. රනිල් වික්‍රමසිංහ කැමැතියි ඡන්ද නොතියා ඉන්න. නැවත ජනාධිපති වෙන්න ඔහුට උත්සාහයක් තියෙනවා නම් ජනාධිපතිවරණයකට කලින් කිසිම මැතිවරණයක් තියන්නේ නැහැ. හේතුව පවත්වන ඕනෑම මැතිවරණයක ප්‍රතිඵලය විසින් ඔහුට ජනාධිපති අපේක්ෂකයා බවට පත්වෙන්නත් බැරි වෙනවා. ඒ ලබාගන්නා ඡන්ද ප්‍රතිශතයෙන් ඔහුගේ ඇත්ත තරම පෙනෙනවා. පාර්ලිමේන්තු ඡන්දෙ පැවැත්වූවත් රනිල් වික්‍රමසිංහට ඔහුගේ තරම පෙනෙනවා. එනිසා ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් හෝ වෙනත් ඡන්දයක් පැවැත්වීමේ ඉඩකඩ අඩුයි. නමුත් පොහොට්ටුවට වුවමනාවී තිබෙනවා ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක්. ජනාධිපතිවරණයට වෙනම ඉල්ලු‍වොත් පොහොට්ටුව පරාද වෙනවා. රනිල්ට සහාය දුන්නොත් පොහොට්ටුවේ දේශපාලනය අවසන් වෙනවා.

අද ආගම පවත්වාගෙන යෑම දේශපාලකයින්ගේ වගකීමක් බවට පත්වෙලා. ආගම දේශපාලනයෙන් මුදාගත යුතුයි. අද ආගම දේශපාලනයට ඇතුලු‍ කර තිබීම තමයි විශාලම විනාශය.මම පෞද්ගලිකව ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වෙත, රුවන්වැලි සෑය වෙත යනවා. ඒත් මම දේශපාලනයට සම්බන්ධ කරගන්නෙ නැහැ. මා මහ නායක හාමුදුරුවන් හමුවෙන්න යනවා. උන්වහන්සේලාගේ උපදෙස් ලබා ගන්නවා. අපේ අදහස් පවසනවා. ඒත් ආගමික වතාවන් පැවැත්වීම දේශපාලනයෙන් ⁣තොරව පෞද්ගලිකව සිදු කරනවා.”

එමෙන්ම සමාජ මාධ්‍ය හේතුවෙන් සෑම පුරවැසියෙකුටම අදවන විට තමන්ගේ ප්‍රතිචාර දක්වන්න අවස්ථාව ලැබී තිබෙන අතර ජනතාව අතරට තොරතුරු ගලාගෙන යන බවත් දෙමව්පියන්ගේ දේශපාලන තීන්දු නිසා තම අනාගතය අඳුරුවූ බව තරුණ පරපුරට වැටහීමක් ඇති බව අමාත්‍යවරයා පවසනවා.

බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් ආගමිකයන්ට වෙන් වෙන්ම ආගමික උත්සව තිබුනද මේ සියලු‍ ජනතාවට එකට එක්වී සැමරීමට සංස්කෘතික උත්සවයක් නැති බව ඔහු සඳහන් කළා.

එමෙන්ම ඔහු සඳහන් කළේ, දේශපාලන ජාතිවාදය ඡන්දය වෙනුවෙන් වපුරන අතර , රට ඉදිරියට යෑමට නම් සියලු‍ ජාතීන් අතර ජාතික සමගියක් අවශ්‍ය බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button