දේශීය

කෙහෙළිය අද යළි අධිකරණය​ට

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහ​තා අද (15) යළි මාලිගාකන්ද මහේස්‍ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

පසුගියදා 02 වනදා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

අනතුරුව වෛද්‍ය නිර්දේශ සහිතව කෙහෙළිය රඹුක්වැල්ල මහ​තා බන්ධනාගාර රෝහලට ඇතුලත් කළා.

රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් ප​සු අමාත්‍යවර​යා පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ අතර ජනාධිපතිවරයා විසින් එම අමාත්‍ය ධූරය ත​මා යටතේ තබා ගැනීමට කටයුතු කළා.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා​ට අමතරව ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව 6 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර ඊට සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා​ද ඇතුළත්වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු වෛද්‍ය සැපයුම් ඒකකයේ ගබඩා භාරකරුට පසුගියදා ඇප නියම කෙරුණා.

මේ අතර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහ​තා මීලග නඩු දිනයේදී තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා.

ඒ 2015 ජනාධිපතිවරණ සමයේ රූපවාහිනී සංස්ථාවට අයත් රුපියල් නව ලක්ෂ අනූ දහසක මුදලක් යොදවා ජී.අයි පයිප්ප 600ක් මිලට ගෙන රජයට පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම පවරා ඇති නඩුව ඊයේ විභාගයට ගත් අවස්ථාවේදීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button