ක්‍රීඩා

ක්‍රිකට් අර්බුදය මැද මහේල මුම්බායට

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස එක්වීමට ශ්‍රී ලංකා හිටපු නායක වත්මන් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන ඉන්දියාවට ගොස් ඇති බව වාර්තාවනවා.

2017 වර්ෂයේ සිට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රියා කරන මහේල ජයවර්ධන මේ දක්වා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි 05කදී පුහුණුකරු ලෙස කටයුතු කර ඉන් තරගාවලි 03කම ශූරතාවය මුම්බායි කණ්ඩායමට දිනාදීමට සමත් වී තිබෙනවා.

කෙසේ වෙතත් මහේල ජයවර්ධන මෙලෙස මුම්බායි කණ්ඩායමට එකතුවන අවස්ථාව වන විට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ඉන්දියාවේ දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇත්තේ නිත්‍ය ප්‍රධාන පුහුණුකරුවෙකු පවා නොමැතිවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට අවසන් වරට සහභාගී වූ T20 තරගාවලි දෙකම ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව හමුවේ අන්ත පරාජයකට ලක්ව ඇති අතර ඉන්දියාව හා පැවති පළමු ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 222කින් පරාජයට පත්වීමත් සමග තවත් තරගාවලි පරාජයක් වැළද ගැනීමේ ආසන්නයට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙලෙස දිගින් දිගටම අන්ත අසරණ තත්වයකට පත්ව ඇති මොහොතක නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ මහ මොළකරු ලෙස හැඳින්වෙන මහේල ජයවර්ධනගෙන් වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා සිදුවන සේවය කුමක්දැයි ප්‍රශ්න මේ වන විට ප්‍රේක්ෂකයින් ප්‍රශ්න කරමින් සිටිනවා.

මන්ද ඉකුත් වසරේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ස්ථාපිත කරන ලද ජාතික ක්‍රීඩා සභාවේ සභාපති තනතුරට මහේල ජයවර්ධන පත් කළ අතර පසුව ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස ද පත් කරනු ලැබුවා.

එලෙස මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සෘජුව සම්බන්ධ වී ඇති වටපිටාවක වර්තමානය වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ප්‍රධාන පුහුණුකරුවෙකු නොමැතිව මාස ගණනාවක් ගෙවා තිබීම මෙලෙස ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධයෙන් ප්‍රවීනයින් ප්‍රශ්න කිරීමට හේතුවී තිබෙනවා.

එබැවින් මහේල වැනි විශිෂ්ටයෙකුට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි මඟට යොමු කළ හැකි වන මට්ටමේ වගකීම් ලබාදී තිබියදීත් දිනෙන් දින අගාදයටම ගමන් කරන්නේ මන්දැයි විමසිල්ලෙන් පසුවිය යුතුයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button