මාලිංග මුම්බායි රාජධානියට සමුදෙයි
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලි ඉතිහාසය තුළ බිහිවූ විශිෂ්ඨතම පන්දු යවන්නා ලෙස අවිවාදයෙන් හැදින්වෙන ලසිත් මාලිංග තමන් 13 වසරක් සම්බන්ධතා පැවැත්වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සමුදී රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට එක්වී තිබෙනවා.
මාලිංග රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට මෙලෙස එක්වී ඇත්තේ වේග පන්දු පුහුණුකරු ලෙසයි.
මාලිංගව මෙලෙස වේගපන්දු පුහුණුකරු තනතුරට පත්කර ගත් රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්නේ කුමාර් සංගක්කාරයි.
IPL ඉතිහාසයේ එදා මෙදාතුර වැඩිම කඩුලුලාභියා ලෙස සැලකෙන ලසිත් මාලිංග තරග 122කට ක්‍රීඩා කර කඩුලු 170ක් බිද දමා තිබෙනවා.
ප්‍රිමියර් ලීග් තරග රටාවේ එකම කණ්ඩායමක් වැඩිම වාර ගණනාවක් නියෝජනය කළ ක්‍රීඩකයෙකු ලෙසද මාලිංගගේ මුම්බායි බැදීම හැදින්වෙනවා.
ලසිත් මාලිංග මීට පෙර 2018 වසරේ පැවති ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකවරයා ලෙසද කටයුතු කළා.