දේශීය

ජාතික පාසල් ගැන දැනුම්දීමක්

පළාත් සභා යටතේ පාසල් සියල්ල පවත්වාගෙන යාමට, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව යෝජනාවී ඇති බව අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වී. රාධක්‍රිෂ්ණන් මහතා පවසනවා.

ඒ අනුව රාධක්‍රිෂ්ණන් මහතා පවසන්​නේ, ජාතික හා පළාත් යනුවෙන් පාසල් දෙවර්ගයක් මින් ඉදිරියට පවත්වාගෙන නොයාමටත්, අධ්‍යාපන අමාත්‍යාංශය සිදුකළ පාසල් අධීක්ෂණය හා පරිපාලන කටයුතු පළාත් සභාවලට පැවරීමට ප්‍රතිසංස්කරණ ඉදිරිපත්වී ඇති බවයි.

එහි​දී පළාත් සභාවෙන් පළාත් සභාවට වෙනස් නොවන පරිපාලන ක්‍රමවේදයක් යටතේ සියලු පාසල් පවත්වාගෙන යායුතු බවට කාරක සභාව අදහස් කර ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්​ම මුදල් ඇතුළු සියලු පහසුකම් ලබා දීමේදී අසාධාරණයක් නොකරන ලෙසට දැනුම් දුන් බවද ඔහු පැවසු​වා.

එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේ, ප්‍රාථමික, 6-9 සහ උසස් පෙළ වශයෙන් කාණ්ඩ තුනක් යටතේ පාසල් පවත්වාගෙන යාමටත්, වසර හතරකට වරක් මෙම වැඩපිළිවෙළ යාවත්කාලීන කිරීමටත් යෝජනාවී ඇති බවයි.

උසස් පෙළ ‍12 ශ්‍රේණියටද, සාමාන්‍ය පෙළ 10 ශ්‍රේණියටද ගෙන ඒමටත් ප්‍රධාන පාසලක් වටා පිහිටි පාසල් අටක් පෝෂණය කරමින් පවත්වාගෙන යාමටත් නියමිත බවත් රාධක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

මීට අමතරව 06 ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කිරීමටද යෝජනා වී තිබෙන බවත් 01 ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි අනිවාර්ය කිරීමට මුලින් යෝජනාවූ බවත් එසේ කළහොත් මවු භාෂාව සිසුන්ගෙන් ඈත්විය හැකි යැයි කාරක සභාවේ සාමාජිකයන් පෙන්වා දුන් බව ඔහු පවසනවා.

අධ්‍යාපන අමාත්‍යවර​යා ආංශික අධීක්ෂණ කාරක සභාවට ලබ දී ඇති මෙම යෝජනා පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බවත් කාරක සභාව මේ දක්වා ඊට අනුමැතිය ලබාදී නොමැති බවයි වාර්තා ‍වන්නේ.

ලබන ජනවාරි දෙවන සතියේදී නැවතත් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන බවද මන්ත්‍රී රාධක්‍රිෂ්ණන් මහ​තා ප්‍රකාශ කළා.

එමෙන්ම න​ව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව, අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකා පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මිය සඳහන් කළේ, ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී පවතින තදබදය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිර්මාණයවී ඇති ගැටලුවලට මෙම ප්‍රතිසංස්කරණ යෝජනාවලින් විසඳුමක් ලැබේද යන්න ගැටලුවක් වන බවයි.

සිසුන් ඇතුළත් කර ගැනීමේදී තරඟයක​ට මුහුණදෙන ජනප්‍රිය පාසල්වල පන්ති කාමරයක් අඩු කිරීමෙන් ප්‍රායෝගික ගැටලුවලට මුහුණදිය හැකි බව මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුව ඇය සඳහන් කළේ, උසස් පෙළ 12 ශ්‍රේණිය දක්වා අඩු කිරීමට ජනප්‍රිය පාසල්වල සහායක් නොලැබෙනු ඇති බව කාරක සභාවේදී සාකච්ඡාවූ බවත් පළාත් සභා යටතට පාසල් ඇතුළත් කර ගැනීම ඇතුළු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button