දේශීය

ගෝඨාභය රාජපක්ෂට නොතීසි

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ප්‍රදානය කරමින් ඔහු නිදහස් කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධව දෙසැම්බර් මස 16 වනදා කරුණු දක්වන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නොතීසි නිකුත් කළා.

අදාළ පෙත්සම් අද (24) මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එම නියෝගය නිකුත් කෙරුණා.

දුමින්ද සිල්වා මහතාට ප්‍රදානය කර ඇති ජනාධිපති සමාව බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඔහුගේ බිරිඳ වූ සුමනා ප්‍රේමචන්ද්‍ර සහ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයකු වන ජනාධිපති නීතිඥ ගසාලි හුසේන් යන අය විසින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සම්වලට අදාළව මීට පෙර මෝසමක් ගොනුකළ පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු එහි වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලීමක් කර තිබුණා.

එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමට අවසර දුන් අතර එම නඩු විභාගය අතරතුර පෙත්සම්කාර සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එරාජ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමට අදාළව වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි පුද්ගලික නිවස වෙත නොතීසි යැවුවද එම නොතීසි ආපසු හරවා එවා ඇතැයි සඳහන් කළා.

එම නොතීසි “භාරගැනීම ප්‍රතික්ෂේප කරන ලදී” යනුවෙන් එහි සටහනක් යොදා තිබෙන බවත් නීතිඥ එරාජ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ සඳහන් කර සිටියා.

ඉන් අනතුරුව පෙත්සම් යළි දෙසැම්බර් මස 16 වනදා කැඳවීමට ද නියම කැරුණි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු කෙරුණු දුමින්ද සිල්වා මහතාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මරණීය දණ්ඩනය නියම කළ බවත් එම මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් තහවුරු කළ බවයි.

එහෙත් දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළ බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් එසේ ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේදී අනුගමනය කළ යුතු නීතිමය ප්‍රතිපාදන නිසි පරිදි ජනාධිපතිවරයා විසින් අනුගමනය කර නොමැති බව පෙන්වා දෙනවා.

ඒ තුළින් ආණ්ඩුකම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කරුවන් අදාළ ජනාධිපති සමාව බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button