දේශීය

ප්‍රසන්න අමාත්‍යවරයාගේ නම භාවිතා කරමින් ඉඩම් ගොඩකළ පුද්ගලයින් අත්අඩංගුවට

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නම භාවිතා කරමින් කලල්ගොඩ ප්‍රදේශයේ අනවසර ගොඩකිරීමක් සිදු කළ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තලවතුගොඩ, කලල්ගොඩ ප්‍රදේශයේ අනවසර ඉඩම් ගොඩකිරීමක් සිදු වන බවට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිවරයා වෙත ඊයේ (06) තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙස සභාපතිවරයා විසින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ විශේෂ බලාත්මක කිරීමේ ඒකකය වෙත දැනුම්දී තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මකවු මෙම ඒකකයේ වැටලීම් අංශය අදාල ප්‍රදේශයේ හදිසි වැටලීමක් සිදු කෙරුණු බවයි වාර්තාවන්නේ.

එහිදි අනවසර ගොඩකිරීමක් සිදු කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ විශේෂ බලාත්මක කිරීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සමග ටිපර් යන්ත්‍රයක් සහ බැකෝ යන්ත්‍රයක්ද නිළධාරීන් භාරයට ගෙන ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක් සහ මාතර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ විශේෂ බලාත්මක කිරීමේ ඒකකය සදහන් කළේ, සැකකරුවන් සහ අදාල වාහන වැඩිදුර විමර්ශන කටයුතු සදහා තලංගම පොලීසියට භාර දුන් බවයි.

වැඩිදුර විමර්ශන කටයුතු පොලීසිය විසින් සිදු කරනු ලබන අතර සැකකරුවන් අද අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි.

2021 අංක 13 දරණ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සංශෝධිත පනත අනුව කිසියම් ප්‍රදේශයක අනවසර ගොඩකිරීමක් හෝ ඉදිකිරීමක් සිදුවනවා නම් අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ විශේෂ බලාත්මක කිරීමේ ඒකකයට බලය තිබෙනවා.

අනවසර ගොඩකිරීමක් යනු ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අනුමැතියකින් තොරව සිදුකරනු ලබන ඕනෑම ගොඩකිරීමකි.

ඒ අනුව පහත්බිම්/වගුරු බිම්/ගොහොරු හෝ මුඩුබිම් ගොඩකිරීම, ඇළ හරස් කර සිදු කරන ඉදිකිරීම් හෝ ගොඩකිරීම, ඇළ රක්ෂිත ගොඩකිරීම අනවසර ගොඩකිරීම් ගණයට අයත්වන බව සඳහන්.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට උපදෙස්දී ඇත්තේ මෙවැනි අනවසර ඉඩම් ගොඩකිරීම් වලට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා ලෙසයි.

ඒ අනුව සංස්ථාවේ විශේෂ බලාත්මක කිරීමේ ඒකකය පැය 24 පුරා ක්‍රියාත්මකවනවා.

කිසියම් ප්‍රදේශයක අනවසර ඉදිකිරීමක් හෝ ගොඩකිරීමක් සිදුවනවා නම් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ 0112-885357 හෝ 0112868002 යන දුරකතන අංක අමතා ඕනෑම අයෙකුට ඒ පිළිබදව දැනුම් දිය හැකි බවද ඔහු සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button